Saturday, October 22, 2011

පරෝපකාරය

ආයෙමත් ටිකක් කල් ගියා පෝස්ට් එකක් දාන්න.මේ සැරේනම් වැඩ වැඩි වෙලා නෙවෙයි.ටිකක් කම්මැලිකමෙන් තමයි හිටියෙ.අනික ලැප් එක සතියක් විතර ලඟ තිබුණෙත් නැහැ.මම වෙනත් පෝස්ට් එකකට මුල පුරල තිබුණෙ.නමුත් මේ ලියන්න හදනකතාව ඉක්මනට ඉවරකරන්න පුළුවන් නිසාත්,උණුසුම මැකෙන්න කලින් ලියන්න ඕනෙ කියල හිතුණු නිසාත් මේකට යොමුවුණා.

ඔන්න ඉතින් ගිය සතියෙ ඉරිදා මට අපේ සහෝ කෙනෙක්ගෙන් දුරකථන ඇමතුමක් ආවා."මචං වවුලා,අනුරාධපුරේ වර්ක්ෂොප් එකක් තියනවා දවස් 4ක,එනවාද?".එදා ටිකක් අසනීප ගතියෙන් හිටි නිසා හිතේ දෙගිඩියාවකුත් තිබුණා.ඒත් කලින් මේ වගේ අත්දැකීමක් ලැබිලා තිබුණෙ නැති හින්දා යන්න ආසාවකුත් තිබුණා.කොහොමහරි අවසර ගන්න ඕනෙ සියලුම පාර්ශව වලින් අවසර අරගෙන(දන්නෝ දනිති....;) ) 17 වෙනිදා මම ගමන යන්න පිටත් වුණා.වර්ක්ෂොප් එක සූදානම් කරල තිබුණෙ අපේ Compsoc එකෙන්.සමහරු බලනව ඇති දැන් මේ වර්ක්ෂොප් එකක් කිවුවම මොකක්ද වෙන්නෙ කියලා.මේ ගමනෙදි අපේ අරමුණ වුණේ අනුරාධපුර ප්‍රධාන පාසලක A/L,O/L නංගිලා මල්ලිලාට එයාලාගේ GIT,ICT විෂය නිර්දේශ මුල ඉඳන් පැහැදිලි කරල කියලා දෙන එක.සාමාන්‍යයෙන් කුප්පි දාන්න යම්කිසි හැකියාවක් තිබුණ හින්දයි,පොඩි උන් ටිකකට උදවුවක් කරන්න ලොකු වුවමනාවක් තිබුණු හින්දයි මම මේ ගමනට එකතුවුණේ.ඉතින් එදා 10.40 ට තිබුණ කෝච්චියෙන් අපි 11 කුත්,අයියලා 13කුත් කොටුවෙන් ගමනාරම්භ කළා.ටිකින් ටික කාලය ගතවෙද්දි මැදිරිය දෙදරන කල්ම අපි ඔක්කොම සින්දු කිවුවා.අයියලා,අපි කියලා වෙනසක් නැහැ,හැමෝම එකම පවුලෙ සහෝදරයො වගේ තාලය ඇල්ලුවා,අත්පුඩි ගැහුවා.ඔය අතරෙ කුරුණෑගලින් තවත් 3 දෙනෙක් අපේ කණ්ඩායමට එකතුවුණා.දැන් අපේ ඔක්කොම කට්ටිය 27ක් ඉන්නවා.ගමන ටිකක් විතර වෙහෙසකර වුණත් හරිම විනෝදයි.මග විසිතුරු බල බල,එකිනෙකාට විහිලු තහලු කර කර ඔහොම යද්දී නොදැනිම හවස 5.30ට විතර අපි අනුරාධපුරට සැපත් වුණා.

අනුරාධපුරම ඉන්න අපේ අයියා කෙනෙක් අපිව වර්ක්ෂොප් එක කරන්න හිටපු පාසැලට එක්කගෙන ගියා.අපිට නවාතැන්,කෑම බීම ඔක්කොම එහෙන් ලෑස්ති කරලා තියන බව කලින් දැනුම් දීලා තිබුණෙ.නමුත් ඒ පාසැලෙ විදුහල්පතිනිය ගෙ සමහරක් වැඩ නිසා අපිට එදා රෑ නම් ගත කරන්න වුණේ හිතේ තරහක් එක්ක.කොහොමහරි වර්ක්ෂොප් එකට O/L නංගිලා මල්ලිලා සහභාගී කරවන්න බැහැ කියලා විදුහල්පතිනිය තීරණය කරලා තිබුණ හින්දා අපි ඔක්කොම දෙනා A/L GIT විෂය නිර්දේශය බෙදාගෙන එදා රෑම අදාල කොටස් වලට සූදානම් වුණා.හැම කොටසකටම අයියලයි අපියි සහභාගී වුණ හින්දා මෙච්චරකල් හරියට අඳුනා ගත්තෙ නැති අයියලා එක්ක අපි කතාබහ කරලා තවත් හොඳින් ෆිට් වුණා.අදාල පාඩම් කොටස් බලලා ඉවරකරලා කවුරුත් නිදාගන්නකොට වෙලාව රෑ 12 ත් පහුවෙලා.අපිට නවාතැන් ලැබුණෙ ඉස්කෝලෙ හොස්ටල් එකේ,ඉතින් පාන්දර 5.30ට තේ හදනවා.යාන්තම් ඇහැ පියවගෙන පහුවෙනිදා පාන්දර හැමෝම 5.30 වෙනකොට නැගිට්ටෙ තාමත් ගමන් මහන්සිය ඇඟෙන් පතෙන් බේරෙන ගමන්මයි.

ඉතින් අපි කඩිමුඩියෙ වැඩේට ලෑස්ති වුණා.කවුරුත් ලහි ලහියෙ දත් මදිනවා,මූණ හෝදනවා,අමත වෙච්ච පාඩම් කොටස් බලනවා.වර්ක්ෂොප් එකේ වැඩ පටන්ගන්න හිතාගෙන හිටියෙ 8.30ට විතර.ඒත් මොකක්දෝ මන්දා ප්‍රමාදයන් ගොඩක් වෙලා අපි වැඩේට එන්ටර් වෙනකොට වෙලාව 9ත් පහුවෙලා.අටුවා ටීකා නැතුව අපි වර්ක්ෂොප් එක පටන් ගත්තා.නංගිලා මල්ලිලා කොටස් 5කට බෙදලා කියලාදෙන්න පටන්ගත්තා.මම බාර අරන් තිබුණෙ DBMS කොටස.ඉතින් මම මුල පන්තියට ඒ පාඩම කියලා දුන්නා.අයියලා අපි එකට දාපු තවත් හේතුවක් තමා වර්ක්ෂොප් එකක වැඩ කරන විදිය අපිට කියලා දෙන්න.මාත්,අපේ තවත් දෙන්නෙකුත් අයියා කෙනෙකුත් තමයි DBMS පාඩම කියලාදෙන්න හිටියෙ.ඉතින් අපේ වැරදි අඩුපාඩු හරිගස්සන ගමන් අපේ හොඳ කියන්නත් අයියලා අමතක කලේ නැහැ.

ආයෙමත් ඉස්කෝලෙකට ආවම අපේ පාසල් කාලෙ මතක් වෙනවා.එකට හිටිය යාලුවො,උන් එක්ක නටපු නාඩගම්...මේ ඔක්කොම.මල්ලිලා දිහා බැලුවමත් ඒ කාලේ අපිව මම එයාලා තුලින් දැක්කා.ඉතින් අපි කවුරුත් ගුරුවරයෙක්ට වඩා,සහෝදරයෙක්,සහෝදරියෙක් කියන හැඟීමෙන් තමයි කියලා දෙන එක කලේ.ප්‍රථිඵලත් සෑහෙන තරම් සාර්ථක බව සැකයක් නැහැ.ලැබුණ පැය 4 1/2 ක කාලය ඇතුලෙ අපි ගොඩක් ලොකු වැඩ කොටසක් කළා.සමහර නංගිලා මල්ලිලාට නීරස වෙලා,තේරෙන්නෙ නැතුව තිබුණ පාඩම් කොටස් අපි සරලව,විහිලු තහලු කරන ගමන්ම කියලා දුන්නා.ඔක්කොම දේවල් කියලා දෙන්න නම් කාලය කොහෙත්ම මදි.නමුත් අපේ උත්සහය අහක නොගිය බව අපි දැනගත්තෙ ගොඩක් දෙනෙක් ලඟටම ඇවිත් "අයියෙ,තැන්ක්යු මේවා අපිට කියලා දුන්නාට" වගේ දේවල් කියපු නිසා.හිතට හරිම සතුටක් දැනෙනවා එහෙම කියනකොට.අර ගමන් මහන්සියයි,නිදිමරපු වෙහෙසයි ඔක්කොම ඒ වචන ටික අහනවත් එක්කම කොහෙන් ගියාද කියල නෑ.විභාගෙ ගොඩදාලා අම්මා,තාත්තාගෙ පැතුම් ඉෂ්ට කරන්න පොඩි එවුවන්ට හයියක් වෙන්න ලැබුණ එක ගැන පුදුම සන්තෝසයක් හිතුණා.මට එවෙලෙ මේ කවිය මතක් වුනේ නිකන්ම...

"පහනින් පහන් සිය ගණනක් ඇවුළුවද
එපහන් සිලෙහි අළු අඩු නොව දිලෙන ලෙද...."

අපි දන්න දෙයක් තවත් කෙනෙක්ට කියලා දුන්නට කවදාවත් තමුන්ට හානියක් වෙන්නෙ නෑ,හොඳක් මිසක,මට ඒක ගොඩක්ම හිතට වැදුනෙ කැම්පස් ආපු මුල කාලෙ ඔරියන්ටේෂන් එකෙන්.කියවන අයට පොඩි උපදෙසක් දෙන්න හිතුනා,තමුන්ට අමාරුයි වගේ හිතෙන ඕන සබ්ජෙක්ට් එකක් තමුන්ගෙ යාලුවෙක්ට නිකන් කියලා දීලා බලන්නකො,අනිවාර්යෙන් කලින් තේරුණාට වඩා වැඩියෙන් ඒ පාඩම තේරේවි.අනික එහෙම කියලා දෙනකොට අමුතුවෙන් පාඩම් කරන්න ඕනෙ නෑ.ඉබේම මතක හිටිනවා.

හරි,ඔය විදියට ලෑස්තිවෙලා ගියාට කලින් අපිට වැඩ ටික ඉවරකරලා එන්න සිද්ධවුණා.නමුත් හවස් වරුවෙ පූජා නගරෙ ටිකක් ඇවිදින්නත් අපි අමතක කලේ නැහැ.රුවන්වැලි සෑය ලඟදි අපි කවුරුවත් අහපු නැති හරි ලස්සන බෞද්ධ කතා,ඉතිහාසයෙන් වගේම ධර්මයෙනුත් අරගෙන අපිට කියලා දුන්නෙ අපේ හර්ෂ,වරුණ,අනිල් අයියා,කැලුම් අයියා වගේම මාධව අයියා.ජේතවනාරාමය,ජය ශ්‍රී මහා බෝධිය වගේ තැන්වලට යන්නත් අපිට පුළුවන්කම ලැබුණා.දවාලෙ ඕනතරම් ඔය තැන් වල ගියත් රෑ වෙලාවක යන්න ලැබුණෙ පලවෙනි සැරේට.හරිම ලස්සනයි එ වගේම හරිම ශාන්තයි.

ඔය විදියට ඉතින් ලොවෙත් ආතල් අරගත්ත අපේ වර්ක්ෂොප් ගමනෙ අවසානයෙදි අපි 19 වෙනිදා පාන්දර 12.20 ට විතර අපි අනුරාධපුරෙන් බස් එකට නැගලා පාන්දර 5.30 වගේ වෙනකොට කොටුවට ආයෙත් ආවා.ආයෙත් ඒ වගේ ගමනක් යන්න ලොකු ආසාවක්,වුවමණාවක් හිතේ තියනවා,බලමු,ඉස්සරහ වැඩ එක්ක ඒ අදහස සාර්ථක කරගන්න ලැබේද කියලා....:)

2 comments:

  1. hoda wadak machan. a wagema athal wadak. next time math enwa ;)

    ReplyDelete
  2. kawda dan nehe kiwwe oya kuppi walata maru kiyala..:P

    ReplyDelete