Sunday, July 24, 2011

කලා කෑමේ Art එක(Part 2)

කලින් පෝස්ට් එකේ අපි සංගීත ක්ෂේත්ර්යට වෙලා තියන දේ ගැන කතාකලා.අද බලමු ටෙලිනාට්‍ය සහ චිත්‍රපටි වලට අත්වෙලා තියන ඉරණම.......

ටෙලිනාට්‍ය ගැන කියනකොට අපිට අද එකපාරට මතක් වෙන්නෙ මෙගා ටෙලිනාට්‍ය ගැන.නාට්‍ය වලට හෙණේට හිටියෙත් ඔය මෙගා සංකල්පයම තමා.මට මතක විදියට මුලින්ම මෙගා විදියට ගියේ "ශාන්ති" කියන ඉන්දියානු නාට්‍යය.ඊටත් පස්සෙ "දාමිණී" වගේ නාට්‍යය වලින් සිංහල මෙගා නිෂ්පාදන ඇරඹුනා.නොයෙක් නොයෙක් නම්වලින් අද හැම චැනල් එකකම වගේ මේ මෙගා ටෙලිනාට්‍ය පෙන්නනවා.වෙනත් බලන්න දෙයක් නැතිකම නිසාම අද ප්‍රේක්ෂකයෝ මේවා බලන තත්වයට වැටිලා.ඔය අතරෙ හොඳ ටෙලිනාට්‍ය ඉඳලා හිටලා නැතුවාමත් නෙවෙයි.නමුත් පවුලේ රසවින්දනයත් එක්ක එහෙම දෙයක් බලන්න රූපවාහිනියෙ චැනල් මාරුකිරීම තරමක් අපහසු දෙයක්.ගෙදර තාත්තා බලන නාට්‍යය අම්මා බලන්නෙ නැහැ,අයියා බලන එකට නංගි කැමති නැහැ.ඉතින් රූපවාහිනිය ඉස්සරහට ගියාම පුංචි පුංචි සණ්ඩු සරුවලුත් ඇතිවෙනවා.ඒ වගේම ප්‍රේක්ෂකයන්ව මෙගා රැල්ලට අහුකරගන්න තිබුණු දෙපැයෙ කථාත් අපිට අමතක නැහැ.කොහොමින් කොහොමහරි දැන් ප්‍රේක්ෂකයන් මෙගා වලට නම් අහුවෙලා ඉවරයි.ඉතින් නාට්‍ය හදන අයත් ඉල්ලුමට අනුව සැපයුම කියලා හෝ ගාලා මෙගා හදනවා.වැඩියම බැලෙන්නෙත් ඒවා නිසා අනෙක් නාට්‍ය යන වෙලාවට කිසිම සමාගමක් වෙළඳ දැන්වීමක් දෙන්නෙවත් නැහැ.ඉතින් හොඳ නිර්මාණ කරන අයට යන එන මං නැතිවෙන හින්දා එයාලටත් සිද්ධ වෙනවා අකමැත්තෙන් හරි මෙගා වලට අත ගහන්න.මම මේ පත්තරයකට නාට්‍ය අධ්‍යක්ෂක කෙනෙක් කියලා තිබුණු කතාවක් කිවුවේ.ඔය cycle එක ඔහොම දිගටම යන හින්දා අපේ නාටය කලාවට නම් දැන් දෙයියන්ගෙ පිහිටයි කියලා තමා කියන්න වෙන්නෙ.

දැන් යන මෙගා නාට්‍යයක පිටපත අපිට උණත් ලියන්න පුලුවන්.කොල්ලයි,කෙල්ලයි,හොඳ ජෝක් දාන වැඩකාරයෙකුයි සම්බන්ධ කරගෙන මූලිකව පිටුවක් දෙකක් ලියාගත්තොත් ඉතින් ආයෙ ගොඩම තමා.මං කියන්නෙ බොරුනම් දැන් යන මෙගා 2,3ක් අරන් බලන්නකෝ.අද ඉන්න චරිත හෙට නැහැ.නාට්‍ය අද බලන්නෙ නැතුව හෙට බැලුවොත් එහෙම අලුත් චරිත 10ක් විතර ඉන්නවා.නාට්‍ය පිටපත ලියන්නෙත් ප්‍රධාන නලුවා හෝ නිලියට හරියන්න..මෙගා වල සමහර විට සතියක් විතර නිලිය හරි නලුවා හරි එකපාරට අතුරුදහන් වෙනව,ආයෙත් නිකන්ම පහල වෙනවා....පසෙසෙ බැලුවම තමා දන්නෙ ඒ නිලියගෙ වෙඩින් එක හින්දයි එහෙම පේන්න නොහිටියෙ කියලා...හික්ස්...අනික නිකන් ඔය මෙගා එකක air time එක ගනන් කරලා බලන්නකෝ.උපරිම විනාඩි 15යි.එතකොට පැය බාගෙනුත් බාගයක්ම වෙන්වෙලා තියෙන්නෙ ඇඩ්ස් වලට.අපි සමහර වෙලාවට නාට්‍යට වඩා බලල තියෙන්නෙ ඇඩ්ස්,ලොල්.....:P.දැන් හදිසියේ මාසයක් විතර නාට්‍යය බලන්න බැරි උණත් අවුලක් නැහැ.මාසෙකින් බැලුවමත් කතාව අන්තිමට තිබ්බ තැනම තමා තියෙන්නෙ....අපේ කට්ටිය රස කර කර බලන නාට්‍ය වල තත්වය ඔන්න ඕකයි ඉතින්......

චිත්‍රපටි ගැන බැලුවොත් නම් ඉතින් සැරින් සැරේ හැදෙන එකක් දෙකක් හොඳ නිර්මාණ වලට අමතරව අනිත්වා එකක්වත් වැඩක් නැහැ.ඕක හැබැයි ඊයෙ පෙරෙයිදා වෙච්ච වැඩක් නෙවේ.සෑහෙන කාලෙයක් තිස්සෙ දකින දෙයක් තමා ඕක.ඉස්සර කලු සුදු චිත්‍රපටියක් ගත්තත් ඒකෙ කොමඩි,ලව්,ඇක්ෂන් වගේම හොඳ කතාවකුත් තියනවා.නමුත් දැන් හැදෙන ඒවා ගොඩක් කොමඩි වගේ තමා හැදෙන්නෙ.හැබැයි ඉතින් ඒවයෙ තියන විහිලු වලට අපි කිතිකවාගත්තත් හිනා යන්නෙ නැහැ.double meaning වචන ටිකක් දාලා අපිව හිනස්සවන්න තමා එයාල හදන්නෙ.ඉස්සර ෆ්‍රෙඩී සිල්වලා එහෙම දාන ජෝක් වලට අපිට තාමත් හිනා යනවා.අනික ඒ කාලෙ කොමඩි නලුවො/නිලියො විදියට ප්‍රසිද්ධ වෙච්ච අයට අමතරව හැම කෙනාටම වගේ හාස්‍ය රසය මතුකරන්න පුලුවන්කම තිබ්බා.ගාමිණි,විජය,ජෝ අබේවික්‍රම,සනත් ගුණතිලක වගේ නලුවො අපි ගොඩක් සීරියස් චරිත වලින් වගේම කොමඩි කෑලි දාන චරිත වලිනුත් දකිනවා.දැනුත් එහෙම අය නැතුව නෙවෙයි.නමුත් හරි නිර්මාණයක් බිහිවෙන්නෙ නැතිකම නිසාදෝ තවම එයාලා කරලියට ඇවිත් නැහැ.උදාහරණයක් විදියට ගිරිරාජ් කෞශල්‍ය ගේ අධ්‍යක්ෂණයකින් හැදුනු "සිකුරු හතේ" මෑත කාලීනව හැදුණු හොඳ ෆිල්ම් එකක් විදියට පෙන්නලා දෙන්න පුලුවන්.හාස්‍ය රසය වගේම හොඳ තේරුමක් තියන,සමාජයේ තියන වැරදිවලට පහරක් ගහන ෆිල්ම් එකක්.ඒකෙ අපි ටෙලිනාට්‍ය වල එහෙම තරමක් ගැඹුරු චරිත වලින් දැකපු සුරාජ් මාපා විහිලු ආකාරයේ චරිතයක් ඉතා හොඳට නිරූපණය කරනවා.මෙහෙම හැකියාවන් තියන අනිත් අයවත් හොඳ නිර්මාණවලින් එලියට එනවානම් චිත්‍රපටි කලාව මීට වඩා සෑහෙන හොඳ තත්වෙකට එනවා රංගනය අතින්....

සමහරවිට හැදෙන හොඳ නිර්මාණ සමහරක් අපිට බලන්න වෙන්නෙත් නැහැ.මොකද ඉතින් ඔය රැඟුම් පාලක මණ්ඩලේ එහෙම ඉන්න අය හරි දක්සයි නොවැ හොඳ ෆිල්ම් ටික ඔක්කොම තහනම් කරලා
දාන්න....හික්ස්...
ඉතින් අපිට හොඳ නිර්මාණ විදියට ලඟදි බලන්න හම්බුනේ සිකුරු හතේ,මචං,ආකාස කුසුම්,බඹර වලල්ල,
පුරහඳ කලුවර,මිල්ලෙ සොයා,සංඛාරා වගේ ඒවා සහ තවත් අතලොස්සක් විතරයි.අනික ගොඩක් වෙලාවට හොඳ ෆිල්ම් එකක් ආවාම ඒක ගොඩක් වෙලාවට සම්භාව්‍ය,එහෙමත් නැත්තං වැඩිහිටියන්ට පමණයි ආකාරයෙන් තමා ප්‍රදර්ශනය කරන්නෙ.ඉතින් ඒ නිර්මාණ වලින් තරුණ පරපුර අතරට යන්න ඕන පණිවිඩ බොහොමයක් යන්නෙ මේ 60 පැනපු සීයලාට තමා.ඉතින් ඔය තත්වය ටිකක් වෙනස් කරලා හොඳ නිර්මාණ අපේ අවු 15-16 වයසෙ ඉන්න,සමාජයට එන්න ඉන්න,නොයිඳුල් මනසක් තියන,තරුණ කොටස අතරට යන විදියක් හදනවානම් ගොඩක් ඉහල රසවින්දන හැකියාවක් තියන පිරිසක් අපිට රටට ඉදිරිපත් කරන්න පුලුවන්වෙයි.අපේ රටේ කලාව ආපහු ලොකු තැනකට ගේන්නනම් අනිවාර්යෙන් ඒ වගේ රසවින්දනාත්මක මොළ හේදීමක් කරන්න වෙනවා.....

අන්තිමට කියන්න තියෙන්නෙ ටිකක් සතුටට කාරණාවක්,ඔයාල දැන් හිතනවද දන්නෙ නැහැ කලාව සම්පූර්ණයෙන් වල් වැදිලා කියලා...නමුත් තවමත් වේදිකාව ඔය තත්වයෙන් ගොඩක් දුරට ආරක්ෂා වෙලා තියනවා...දැන් ඇත්තටම හොඳ දෙයක් රසවිඳින්න අපිට තවමත් ඉතුරුවෙලා තියන හොඳම ප්‍රභවය තමා වේදිකාව...ඉතින් ඒකත් නිකරුනේ විනාස වෙන්නෙ නැතුව තවත් චිරාත් කාලයක් ඔය විදියටම ආරක්ෂා වෙලා තියෙන්න කියලා තමා අපිට ප්‍රාර්ථනා කරන්න තියෙන්නෙ අවසාන වශයෙන්....:D

Sunday, July 10, 2011

කලා කෑමේ Art එක(Part 1)

පලවෙනි පෝස්ට් එක දාලා සෑහෙන කාලයක් යනකම් හිටපු එක ගැන මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ.එකපිට එක ආපු assignments ගොන්න එක්ක පෝස්ට් එකක් ලියන්න වෙලාවක් හොයාගන්න උණේ නැහැ.ඊටත් පස්සෙ තව නොයෙක් නොයෙක් දේවල් අතරතුර ලියන්න නිදහසක් ලැබුණු හැටියට තමා මේක ලිවුවේ.පලවෙනි පෝස්ට් එකට ප්‍රතිචාර සෑහෙන තිබුණා.සහය පලකල හැමෝටම ස්තූතියි කියලා කියනවා.

ගියපාර අපි ලස්සන ගැන,ආදරේ ගැන කතාකලා.අද කතාකරන්න හිතුවේ,තවත් කාලීනයි කියලා මට හිතුණු මාතෘකාවක් ගැන.අද දවස වෙනකොට කලාව කියන දේට මොකද වෙලා තියෙන්නේ?.

අපි මුලින්ම බලමුකො සංගීතය දිහාවට හැරිලා.ඉස්සර මම පුංචි කාලේ,අපේ ගේ ඉස්සර පොඩි අඹ ගහක් තිබුණා.ඒකෙ කඳින් අල්ලගෙන ගහ වටේ කැරකෙන ගමන් මම එඩ්වඩ් ජයකොඩි මහත්තයගෙ "මේ ප්‍රේම කථා නවතා මොහොතක්.." කියන සින්දුව කියන්න පුරුදුවෙලා හිටියා.ඒ සින්දුව තමයි මම දැනුම් තේරුම් තියන කාලෙක,ප්‍රසිද්ධ ගායකයෙක් කියපු සින්දු වලින් මුලින්ම මගේ හිත ගත්තෙ. තේරුමක් දන්නෙ නැති උණත් ගීයෙ තාලයට,සංගීතයට මං ආස කලා.එදා සිට අද දක්වා කාලයත් එක්ක,මගෙ කණට ඇහුණු සංගීතයෙ පැහැදිලි වෙනස්කම් ගොඩක් සැරින් සැරේ මතුවුණා.මේ වෙනස්කම් බොහොමයක් හොඳ පැත්තට සිදුවෙච්ච ඒවානම් නෙවෙයි.

මුල් කාලේ තිබ්බ සින්දුවල ගොඩක් වෙලාවට අර්ථපූර්ණ බව කියන එකට ගොඩක් වැදගත්කමක් දීලා තිබුණා.භාවපූර්ණ ගායක ගායිකාවන් පමණක් ගායනයට යොමුවීම තුලින් මේ ගුණාත්මක බව ගීතවලින් දැකගන්න පුලුවන් වුණා කියන එක තමා මගේ හැඟීමනම්.නමුත් දැන් ඒ වගේ ගායක ගායිකාවන් බිහිවෙනවා හරි අඩුයි.ඒක සමාජයේ කොතනක සිද්දවෙන අඩුවක්ද කියලා හරියට තේරෙන්නෙ නැති උණත් දැන් සෑහෙන්න ජනප්‍රිය වෙලා තියන රියලිටි වැඩසටහන් නම් මේ තත්වෙට ගොඩක් වගකියන්න ඕන කියලයි මට හිතෙන්නෙ.දක්ෂතාවය වෙනුවට අන්තිමට ජනප්‍රියතාවය සහිත තරුවක් තමා අවසානයේ ඒවායින් එලියට එන්නෙ.ඒ එන තරුත් ඉතින් මාස 5,6 කින්,සින්දු 2,3කින් මිනිස්සුන්ට අමතකවෙලා යනවා.අර කාලයක් තිස්සෙ එයාලා දරපු මහන්සිය ඔක්කොම වතුරෙ යනවා ඉතින්.මම මේ කියන්නෙ බොරුද කියලා ඔයාලටම පේනවා ඇතිනේ දැන් කාලෙ දිහා බැලුවම.

කොහොමහරි ඉතින් දැන් කාලෙ රැල්ල වෙලා තියෙන්නෙ ඔය ඩෝප් වෙච්චි කට්ටියට එහෙම කැපිච්ච පණුවො වගේ දඟලන්න පුලුවන් beat එකක් තියන සින්දු තමයි.එයාලට රිද්මය මිසක් සින්දුවෙ වචන වැඩක් නැහැනෙ. ඉතින් ඔන්න මල් ගැනයි පන්සල් ගැනයි රටේ නැති දේවල් ගැනයි තමා සින්දු ලියවෙන්නෙ.එහෙම රිද්මය තියන,හරවත් සින්දු නැතුවම නෙවෙයි.ඒත් බහුතරයක් තියෙන්නෙ අරවගේ ඒවා.දැන් කාලෙ රසවින්දනය පත්වෙලා තියන තත්වෙ අනුව ස්ටේජ් එකේ සින්දුව යනකොට අපිව නැටවෙන්නෙ නැත්තම් ඒ සින්දුව චාටර් ගණයට තමා වැටෙන්නෙ.අලුතින් එන ගායක ගායිකාවන් ගොඩක් අය කරන්නෙ අර තියන රසවින්දනයට ගැලපෙන සින්දුවක් දෙකක් කියලා එයාලගෙ මල්ල තරකරගන්නවා.ඔය අතරෙ වෙනසක් කරන්න හදන,වෙනස් විදියට හිතන ගායක ගායිකාවන්ට ඇත්තටම අපේ ප්‍රශංසාව හිමිවෙන්න ඕනෙ.මොකද එහෙම කීපදෙනෙක්වත් හිටියෙ නැත්තම් ලංකාවෙ ගායන කලාව මෙහෙමවත් ආරක්ෂාවෙලා තියෙන්නෙ නැහැ.

තවත් අතකින් අපි හැකියාව තියන ගායක ගායිකාවන්ගෙන් හරිහමන් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ කියලත් හිතෙනවා.මම නදීක ගුරුගේ මහත්මයා සංගීතවත් කරපු සමිතා මුදුන්කොටුව මහත්මිය ගායනා කරන "රිදී නදී" කියන ගීතය ඇහුවා. මට ඇත්තටම පුදුමත් හිතුනා මේ ගායිකාවට මෙහෙම හැකියාවක් තියේද කියලා.ඇයි ඉතින් අපි ඇයව දැන් කාලෙ ගොඩක් දකින්නෙ හිප් හොප් සින්දුවක මොකක්හෝ verse එකක් ගායනා කිරීමෙන් පමණයිනෙ.ඔය මම දැකපු එක සිදුවීමක් විතරයි.ඒ වගේ තමන්ගෙ හැකියාවන්ගෙන් හරියට ප්‍රයෝජනයක් නොගත්ත ගායක ගායිකාවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා කියල මට හිතෙනවා.ඉතින් ඒ වගේ හැකියාව තියන අයව අදාල පරිදි නිර්මාණවලට යොදාගන්නවානම් ඇත්තටම මීට වඩා හොඳ තත්වෙකට සංගීතය කියන අංශය ගේන්න පුලුවන් වේවි.....:)

මම අද කතාකලේ කලාවට වෙලා තියන දේ ගැන කතා කරනකොට සංගීතය පැත්තෙන් ඇතිවෙලා තියන තත්වය.මේ මාතෘකාව හොඳයි කියලා හිතෙනවානම් කියන්න.නාට්‍ය සහ චිත්‍රපට පැත්තෙනුත් මේ ගැන කතාකරන්න මට එතකොට පුලුවන්.එහෙම නැත්නම් වෙනත් මාතෘකාවකට යොමුවෙන්න පුලුවන්.තීරණය ඔබ අතේ........