Thursday, September 29, 2011

නික්මයාම

අහසේ තරු ගනින්නෙ වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ...
මුහුදේ වතුර බොන්න වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ...
අපිම දන්නෙ නෑ කවුරුත් අපිව දන්නෙ නෑ....
අපිම දන්නෙ නෑ කවුරුත් අපිව දන්නෙ නෑ....
දන්නෙ නෑ......දන්නෙ නෑ....නෑ නෑ නෑ

ඔය ඉස්සර ටෙලිවිෂන් එකේ ගිය,මම ගොඩක් ආස කරපු සිංදුවක්.......මට යාන්තමට මතකයි කලු සුදු රූපරාමු පෙළක් එක්ක කෝච්චියක දර්ශනයක් තිබුණෙ ඒ සිංදුවෙ.අදාල චිත්තරපටිය මොකක්ද කියලනම් මම දන්නෙ නැහැ ඕං(පස්සෙ හොයනකොටතමා දැක්කේ චිත්තරපටිය "බඩුත් එක්ක හොරු" කියලා).

දැන් කට්ටිය බලනව ඇති මම මොකක් ගැනද මේ කියන්න හදන්නෙ කියලා.ඒ සිංදුව බලපු කෙනෙකුටනම් පොඩි හරි ඉඟියක් ඇති.හරි හරි.මම කෙලින්ම මාතෘකාවට එන්නම්කො.ඒ සිංදුවෙ වගේම ඒ චිත්තරපටියෙත් හිටපු විශිෂ්ටතම ප්‍රතිභාපූර්ණරංගන ශිල්පියෙක් වෙච්ච ජෝ අබේවික්‍රම ශිල්පියා මීට සතියකට කලින් දැයෙන් සමුගත්තා.කලාවට මිල කරන්න බැරි මෙහෙයක් ඉටු කරලා තමයි එතුමා අපෙන් සමුගත්තෙ.1957 දි "සරදම" තුලින් රංගනයට ප්‍රවිශ්ට වුණු එතුමා 2006 වසර වනකල්ම රංගනයේ නිරත වුණා.මුල් කාලයේ විකට නළුවෙක් විදියට ප්‍රසිද්ධ වුණත් පහුකාලීනව වඩාත් ගැඹුරු චරිත වලින් අපිට එතුමාව දකින්නට ලැබුණා.අවිවාදයෙන්ම මෑත යුගයේ හිටි හොඳම රංගන ශිල්පියෙක් විදියට එතුමාව හඳුන්වන්න පුලුවන්.

ජෝ කියන්නේ රියැලිටියකින් ආපු,එක රැයින් කලාවට පයගහපු නළුවෙක් නෙවෙයි.නොපසුබට උත්සහය නිසාම නළුවෙක් වෙච්ච පුද්ගලයෙක්.බොරු ආටෝප නැතිව තමන්ගෙ හැකියාවෙන් විතරක් ජනතාවගේ හිත දිනාගත්ත කලාකරුවෙක්.කොමඩියෙන් රංගනය පටන්ගත්තත් ඒකටම කොටුනොවී ඉදිරියට ගිහින් වෙනස් දේවල් අත්හදාබලපු මිනිසෙක්.අපේ නවක නළු නිළියන්ට මෙතුමාගේ චරිතයෙන් ගන්න ආදර්ශ සෑහෙන තියනවා.ජෝ චරිතාපදානය කලාකරුවන්ට විතරක් නෙවෙයි,සාමාන්‍ය මිනිහෙක්ටත්වැදගත්.

මේ පෝස්ට් එක ලියන්න අදහස් කලේ එතුමාගේ චිත්තරපටි ගැනවත්,රංගනේ ගැනවත් කියන්න නෙවෙයි.විශිෂ්ට මිනිසෙකුගේ නික්ම යෑමට ඌණ පූරණයක් එක්කරන්න විතරයි මට ඕන වුණේ.මිනිසුන්ගේ ගුණ කියන්නට ඒ මිනිස්සු මැරෙනකන්ම ඉන්නටඕනෙ නෑ.මීට ගොඩක් කලින් ලියපු පෝස්ට් එකකත් මම ජෝ අබේවික්‍රමගේ රංගනය ගැන පැසසුමක් කළා.ඉදිරියටත් මේ වගේ දක්ෂ ශිල්පීන් කලාවට එකතුවේය කියලා සහ ජෝ අබේවික්‍රම මහතාට නිවන් සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා.

ජෝ.....ඔබ නැතිව කලාවට,

අහසේ තරු ගනින්නෙ වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ...
මුහුදේ වතුර බොන්න වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ...

Monday, September 19, 2011

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි....ද?


9 වසරෙ සෞඛ්‍ය පොත අතට හම්බෙනකම් ඉස්සර අපි පොඩි උන්ගෙ හිතේ අමුතුම හැඟීමක් තිබුණෙ.අපේ ස්කූල් වෑන් එකේ ගිය අයියලා තමා ඔය හැඟීම අපේ හිතට දැම්මෙ නොයෙක් නොයෙක් දේවල් වලින්.ඒ කට්ටියගෙන් ලැබිච්චි විස්තරේට අනුව පොත හම්බුණ ගමන් මුලින්ම පෙරලල බැලුවෙ ප්‍රජනන පද්ධතිය ගැන තියන පාඩම.ඒකෙ තියන රූප අපිට ඒ කාලෙ මැජික් වගේ(කොහෙන් දැකපුවද දෙයියනේ ඉතින්).ඒ ගැන අපේ හිත් ඒ තරමට උනන්දු වුණෙ ඇයි කියලා මට ඒ කාලෙ තේරුණෙ නැහැ.නමුත් මිනිහා කියන්නෙ පුදුම කුතුහලයක් තියන සතෙක් නෙ.ජීවිතේට අහල,දැකල නැති දෙයක් මුල්ම සැරේට අහන්න,දකින්න මිනිහට හරිම උනන්දුවක් තියනව.ඒක සහජයෙන්ම ආපු පුරුද්දක් නෙ.ඒ හින්දා අපි ගැන වැරදියට හිතන්න එපා ඉතින් ඕං.....;).කොහොමින් කොහොමහරි ඉතින් අපිට ලිංගික අධ්‍යාපනේ ආරම්භයක් උණේ ඔතනින් තමා ඒ කාලෙනම්(දැන් කොහොමද දන්නෙ නෑ).ඔය පාඩම අපිට ඉගැන්නුවද කියලා හරි මතකයක් නැහැ මට.හැබැයි ඉගැන්නුවනම් අමතක වෙන්න විදියකුත් නැහැ නේ.....;).හැබැයි ඉතින් ඔය ගැන ඉගැන්නිල්ලත් 9 වසරෙ සෞඛ්‍ය පොත ආපහු බාරදෙනවත් එක්කම ඉවරවුණා.

ශ්‍රී ලංකාව කියන්නෙ ඇත්තටම ලිංගික අධ්‍යාපනය අතින් ගොඩක්ම පිටිපස්සෙන් ඉන්න රටක්(දකුණු ආසියාවෙම තත්වෙ ඕක තමා).විකියෙත් ඒ ගැන කියල තියෙන්නෙ මෙහෙම "In China and Sri Lanka, sex education traditionally consists of reading the reproduction section of biology textbooks".ඒකට හේතුව විදියට මටනම් හිතාගන්න පුලුවන් එකම කාරණාව අපේ සංස්කෘතිය විතරයි.කොටින්ම කියනවනම් ලැජ්ජ බය කියන සංකල්පෙත් එක්ක අනවශ්‍ය දේවල් වගේම අත්‍යවශ්‍ය දේවලුත් අපේ ජීවිත වලින් ඈත් වෙලා.ඉස්සර අපි අහනවා "අම්මේ,තාත්තේ අපි කොහොමද මේ ලෝකෙට ආවෙ" කියලා.එතකොට අම්මා හරි තාත්තා හරි අපිට කියනව "පුතේ ඔයා දෙයියො ගෙනත් දුන්නෙ" කියලා.ඒක ඇත්තටම පොඩි පන්තියක ඉගෙනගත්ත අපිට සෑහීමකට පත්වෙන්න පුලුවන් උත්තරයක් වුණා.නමුත් තරුණ කාලෙ ඉන්න ළමයෙක්ට එහෙම සුරංගනා කතා කොහෙත්ම ගැලපෙන්නෙ නැහැ.එත් තවමත් ළමයෙක් ඔය ප්‍රශ්නෙ තමුන්ගෙ දෙමවුපියන්ගෙන්ඇහුවොත් අපේ අම්මා තාත්තාට පුලුවන්ද ඕකට හරිහමන් උත්තරයක් දෙන්න?.තරුණ වයසෙ ළමයෙක් ගණීතය,විද්‍යාව වගේම අනිවාර්යෙන් ඉගෙනගන්න ඕනෙ විෂයයක් වෙච්චි ලිංගික අධ්‍යාපනේ අසභ්‍ය කුණුහරුප විදියටයි එදා වගේම අදත් සැලකෙන්නෙ.ලිංගික කරුණු ගැන ඉගෙනගන්න උනන්දුවක් තියන අය දිහාත් ඒ වගේම පහත් විදියට තමා බලන්නෙ අද වුණත්.ඉතින් කන අතගාගන්න කැමති කවුරුහරි ඔය ප්‍රශ්නෙ පොඩ්ඩක් වැඩිහිටියෙක්ගෙන් අහල බලන්නකො.හි හි.......

හරිහමන් ලිංගික අධ්‍යාපනයක් නැති කමේ ප්‍රතිවිපාක අපිට අද හැමතැනින්ම අහන්න ලැබෙනවා.ඒඩ්ස් ලෙඩ්ඩු වැඩිම ගානක් ඉන්නෙ අපේ අසල්වැසි ඉන්දියාවෙ.පත්තරයක් අතට ගත්තොත් දූෂණ වලින් පිරිලා.අයියා නංගිව දූෂණය කරලා,තාත්තා දුවව දූෂණයකරලා.කොටින්ම 60 පැනපු ආච්චිලව පවා දූෂණය කරල මරල දාපු ආරංචි අපිට අහන්න ලැබුණා.තාම කිරිබෝතලෙ අතෑරපු නැති පොඩි උන් Blue Films බලන්න පුරුදුවෙලා.තවත් කියනවනම් දේවල් ඕනතරම්.ලිංගිකත්වය ගැන අවබෝධයක්නැති තරුණ පරපුර ඒ ගැන අවබෝධය ගන්න පාවිච්චි කරන මූලිකම දේ තමා මේ Blue Films.ඒවා බැලුවමලිංගිකත්වය ගැන අමුතුම අදහස් වලින් ඔලුව පිරෙනවා.එහෙම විකෘති වෙච්චි ඔලුවක් තියන මිනිස්සු දිගින් දිගටම සමාජෙට එන හින්දාතමයි අපිට ඔය දූෂණ වල කෙලවරක් දකින්න නොලැබෙන්නෙ,ග්‍රීස් යක්කු රටපුරා සැරිසරන්නෙ.අද ගැහැණු කෙනෙක්ට බස් එකක හිටගෙන නෙවේ,වාඩිවෙලාවත් යන්න පුලුවන්ද?.ඒ තරමට විකෘති මොළ තියන කාමාතුරයින්ගෙන් සමාජය පිරිලා.තමුන්ගෙ ජාතක දරුවව, එහෙමත් නැත්තම් අම්මටත් වඩා වයස ගැහැණුන්ව දූෂණය කරන්න තරම් පහත් මානසිකත්වයක් මනුස්සයෙක්ට ඇතිවෙනව කිවුවමත් අපිට පුදුමයි.නමුත් ඇත්ත ඒකයි.

අනික් කාරණව තමා ගොඩක් දෙනෙක් හිතන් ඉන්නෙ ලිංගික අධ්‍යාපනේ ප්‍රජනන පද්ධතියට සීමා වෙච්ච එකක් කියලා.ඒක සම්පූර්ණ වැරදි අදහසක්.ප්‍රජනන පද්ධතිය වගේම ලිංගිකව හැසිරීම,ප්‍රජනන සෞඛ්‍ය,ප්‍රජනන අයිතිවාසිකම් සහ වගකීම්,උපත් පාලනය වගේම මිනිස් ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධ අනික් සියලු දේත් ලිංගික අධ්‍යාපනයට අයිති වෙනවා.නමුත් සමහර අය ලිංගිකත්වය ගැන අත්දැකීමක් මුල්ම වතාවට ලබාගන්නෙ විවාහයෙන් පස්සෙ.නිසියාකාරව ලිංගිකත්වය ගැන නොදැනීම හින්දා ඒ වගේ වෙලාවක දෙන්නනාම අපහසුතාවයකට පත්වෙනවා.කොටින්ම කියනවානම් විෂයය නොදැන විභාගෙට ගියා වගේ තත්වයක් තමයි ඇතිවෙන්නෙ.ඕකට හරියන්න තවත් කට්ටියක් ඉන්නවනෙ ඉතින් අර දකින දකින මල් ඉඹින.හරි අවබෝධයක්වත් ආරක්ෂාවක්වත් නැතුව ලිංගිකව හැසිරීම හින්දා ඒඩ්ස් වගේ ලිංගාශ්‍රිත රෝග ඉක්මනටම පැතිරෙනවා.ලංකාවෙන් දැනට ඒඩ්ස් රෝගීන් 313 ක් හොයාගෙන තියනවා ඒ වගේම 1350 කට ආසන්න ප්‍රමාණෙකට ඒඩ්ස් වෛරස් එක ශරීරගත වෙලා තියනවා.හරි ආරක්ෂාවක් නැති කමෙන් ලෙඩ රෝග හැදෙන්න පුලුවන් වගේම අනවශ්‍ය ගැබ් ගැනීම් ඇතිවෙන්නත් පුලුවන්.ලංකාවෙ දවසකට නීති විරෝධී ගබ්සා කිරීම් විතරක් 700 ක් වෙනවා කියලා සමාජසේවා ඇමතිතුමා කියලා තියනවා.නීතියට අනුව ඒක සිද්ධවුණත් මිනිස්සුන්ගෙ නොසැලකිලිමත්කමට තාමත් නොඉපදුනු ජීවිතයක් වන්දි ගෙවන එක අසාධාරණයක්.

ඔය ලංකාවෙ දැනට තියන තත්වය.මේක වෙනස් කරන්නනම් "ලිංගික අධ්‍යාපනය" පාසල් තුලින් ක්‍රමවත් විදියකට තරුණ පරපුරට ලබා දෙන්නම වෙනවා.මොකද ළමා මනස ඉක්මනටම වෙනස්කරන්න පුලුවන්.ඉතින් ලිංගිකත්වය ගැන වැරදි අදහසක් එක්ක වැඩෙන ළමයෙක් පස්සෙ සමාජෙට ලොකු කරදරකාරී පුද්ගලයෙක් වගේම සමාජයෙන් කොන්වෙච්ච පුද්ගලයෙක් වෙන්නත් පුලුවන්.පාසල ඇරුණු කොට ලිංගිකත්වය ගැන අවබෝධය වැඩිකරගන්න හොඳම තැන තමයි ගෙදර.නමුත් දැනට ගෙදර තත්වෙ මම කලිනුත් කිවුවා වගේ හරිම කණගාටුදායකයි.ළමයා සහ දෙමවුපියන් අතර ලිංගිකත්වය ගැන කතාකරන්න තියන අපහසුතාවය තමා ළමා අපචාර වැඩිවෙන්න ප්‍රධානතම හේතුව.ඒ හැරුණම නොයෙක් ලිංගික ප්‍රශ්න නිසා මානසිකත්වය පවා ඇදවැටිච්ච ළමයි ඕනතරම් හම්බවෙනවා අපිට.මේ වගේ ප්‍රශ්න මග අරින්නත්,ළමයාට හොඳ ලිංගික අවබෝධයක් ලබාදෙන්නත්,ළමයාට දෙමාපියන් එක්ක ලිංගිකත්වය ගැන සැහැල්ලුවෙන් කතාකරන්න පුලුවන් තැනට සමාජය ආ යුතුමයි.හණමිටි අදහස් අත ඇරලා පාසල වගේම ගෙදරත් විවෘත තැනක් බවට පත්වුණාම අපිට දූෂණ,ඒඩ්ස්,ග්‍රීස් යක්කු නැති සදාචාරවත් ශ්‍රී ලංකාවක් බලාගන්න පුලුවන් වෙයි...........:)

ආශ්‍රිත - දිවයින Online Edition,Wikipedia

ප.ලි - මේ පාර ලියපු මාතෘකාව සමහරුන් පිලිකුලෙන් නොකියවා ඉඳීවි.ඒත් දැනට නොසලකා හැරල තියන මේ වගේ ශිෂ්ට සම්පන්න සමාජෙක කතා කළ යුතුම දේවල් කවුරු කවදා හරි කතාකළ යුතුමයි කියල හිතුණ නිසයි ලිවුවේ.මල් වගේම ගල්,මුල් ඔක්කොම සතුටින් බාරගන්නවා.ඔයාලට ජය!!!.
බාරගන්නවා.ඔයාලට ජය!!!.

Thursday, September 8, 2011

යථාර්තයක් වෙන්නට පෙරුම් පුරන රියැලිටිය

සුපිරි ගායන තරු,මෞලි මංගල්‍යයන්,ලොකුම වේදිකාවන්......මේ අද අපිට නිතර දෙවේලෙ අහන්න ලැබෙන වචන ටිකක්.රියැලිටි ගණයේ සැලකෙන වැඩසටහන් වලින් තමා අපිට මේ වචන ගොඩක් හුරුපුරුදු වුණේ.අද වෙනකොට ප්‍රධාන කියල සැලකෙන රූපවාහිනී වගේම ගුවන්විදුලි නාලිකා ඔක්කොම වගේ අඩුම වශයෙන් එකක්වත් මේ ආකාරයේ රියැලිටි වැඩසටහන් පවත්වා තියනවා.ඉතින් මේ රියැලිටියේ ඇත්ත තත්වය මොකක්ද කියලා අද කතිකාවෙන් පොඩ්ඩක් හිතලා බලමු......

ජනප්‍රිය රියැලිටි වැඩසටහනක් මුලින්ම විකාශය වුණේ ඛ්‍රිතාන්‍යයෙ Itv නාලිකාවෙන් Pop Idol කියන ගායන කුසලතා මනින වැඩසටහනක් 2001 අවුරුද්දෙ.ඒකටම සමානවෙච්ච වැඩටහන් ඊට පස්සෙ ඇමරිකාවෙ American Idol නමින් 2002 අවුරුද්දෙදි. ඊටත් පස්සෙ 2004 අවුරුද්දෙ අපේ අසල්වාසී ඉන්දියාවෙන් පටන් ගත්තා Indion Idol වැඩසටහන.ලංකාවට මුලින්ම රියැලිටිය ලැබෙන්නෙ 2004 අවුරුද්දෙ Pop Idol ටම සමානවෙච්ච Super Star වැඩසටහනෙන්.අපේ අය කවදත් අනුන්ගෙ වැඩ කොපි කරන්න හරි දක්ෂයි නෙ,ඉතින් මේ වෙච්ච වැඩෙනුත් ඒක හොඳටම පේනවා.ඉස්සර කලු සුදු චිත්තරපටියෙ තිබ්බ සින්දුවෙ ඉඳන්ම අපි ඉන්දියාවෙන් කොපි කරගත්තා...තවමත් ඒ මානසිකත්වය අපේ කට්ටියගෙන් අයින්වෙලා නෑ.හරි හරි....ඔයින් මෙයින් අපේ කතාව මග ඇරෙනවා.

Super Star වලින් පටන්ගත්ත රියැලිටිය හරි ඉක්මනට ජනප්‍රිය වුණා......බොරු කියන්න ඕනෙ නැහැනෙ, මමත් ඉතින් පලවෙනි season එක එහෙම්පිටින්ම බැලුවා...ඒකෙනම් ඇත්තටම සුදුස්සාට සුදුසු තැන නොලැබිම ඇරෙන්න අනිත් හැම දෙයක්ම හොඳට තිබුණා කියලා මටනම් හිතෙන්නෙ.හොඳ හැකියාවන් තිබුණු කට්ටියක් අන්තිම වට වලදි අපිට දකින්නට ලැබුණා.අති සාර්ථක වුණු Super Star වැඩසටහන හින්දා අනිත් නාලිකා ඔක්කොගෙම ඇස් මේ රියැලිටි වැඩසටහන් දිහාවට හැරුණා.ඒ එක්කම හතු පිපෙන්නා වාගෙ හැම තැනින්ම මේ වගේ රියැලිටි වැඩසටහන් පටන්ගත්තා.ඉතින් මේ වැඩසටහනක ගලායාම කොහොමද කියලා බලමු......

මුල් වට කීපයෙදි විනිශ්චයකරුවන් ගෙන් ලැබෙන විනිශ්චය අනුව තරඟකරුවන්ව ඊලඟ වට වලට තෝරගන්නවා.ගොඩක් වෙලාවට මුල්ම වටයට ලක්ෂ ගණන් තරඟකාරයො ඉන්න හින්දා වට 10ක් විතර යනකම් මේ විදියට වින්ශ්චයෙන් තමා ඉස්සරහ වට වලට තරඟකාරයො තෝරගන්නෙ.ඊටපස්සෙ කට්ටිය 50කට විතර අඩු වුණාම පටන්ගන්නවා sms වලින් ඊලඟ වටයට යවන එක.මෙහෙම තවත් කට්ටිය අඩුවෙලා ගිහින් 12කට විතර බැස්සට පස්සෙ තරඟය ගොඩක් උණුසුම් වෙනවා.අපිට ඒ කාලෙ නම් පන්ති වල ඉස්සරහ,කලින් බෙදපු ලීෆ්ලට් ටික ඇරුණම සුපිරි තරුව කරන්න මනාප sms එවන්න කියලා ඔක්කොම විස්තර තියන කාඩ් පවා ලැබුණා,පන්තියෙ සර්ගෙන් ඉගෙනගෙන තරුවක් වෙන්න ගිය ගෝලයො ඒ පන්ති වලට ඇවිත් සින්දු කිවුවා,සමහර වෙලාවට සර්ම කියනවා මෙන්න මෙයාට මේ තරඟයෙන් දිනන්න මනාපයක් දෙන්න කියලා.ඒ ඇරුණම හන්දි ගානෙ අදාල පැත්තෙන් තරඟයට ගිය කෙනාගෙ ලොකු කටවුට් එහෙමත් තිබුණා.

මට ඒ කාලෙහිතුණු දෙයක් තමා ඔය ප්‍රචාරක වැඩේ කරන්න ඇත්තෙත් අර රියැලිටිය තියන නාලිකාවෙන්මය වෙන්න ඇති කියලා.මොකද වෙනස් තරඟකාරයොන්ගෙ අර මනාප ඉල්ලල තිබුණ කාඩ් වගේම කටවුට් ඔක්කොම එකම විදියට design කරලා තිබුණෙ.වෙනසට තියෙන්නෙ මූණයි,නොම්මරෙයි විතරයි.ඒකත් එක්කම නාලිකාවෙ නමත් හැම කාඩ් එකකම තිබුණා.සන්තකේ තියන ඒවත් වියදම් කරගෙන කාඩ් ගහගෙන මනාප ඉල්ලන තරඟකාරයොන්ට පිස්සුවක් ඇතෑ අර කාඩ් එකේ පාට පාටින් නාලිකාවෙ ලාංඡන ගහන්න.ඇරත් ඔය කටවුට් එකක් ගහන්න කොච්චර වියදමක් යනවද.අර මිනිස්සු ටිකට තිබුණනෙ ඔය සල්ලි ටිකෙන් පොඩි සිල්ලර කඩයක් දාගන්න.හික්ස්.......:P.

හ්ම්.ඉතින් කොහොම කොහොමහරි මුල වට ටිකේදි දක්ෂකම මත ඉස්සරහට එන තරඟකාරයන්ට පහුවෙනකොට,ඉස්සරහට යන්න බලපාන කාරණව තමා ජනප්‍රියතාවය.මම කියන්නෙ බොරුනම් මේ තිබුන රියැලිටි වැඩසටහන් එකකවත් අවසන් හරියෙ වට වල විනිශ්චයකාරයොන්ගෙ තීරනෙන් විතරක් එක තරඟකාරයෙක් ඉස්සරහ වටේකට ගියාද කියල හිතල බලන්න.අඩුගානෙ 50% ක්වත් දක්ෂකමෙන් මනින්න තිබුනනෙ.ජනප්‍රියතාව මනින්නෙත් හම්බුන sms ගානෙන් නෙ.කලින් නම් ඒ ක්‍රමෙත් ටිකක් හරි සාදාරණව සිද්දවුණා.මොකද එක නොම්මරේකින් එවන්න පුලුවන් එක sms එකක් විතරයි කියල නීතියක් තිබුණ නිසා.පස්සෙ ඕනතරම් sms එවන්න පුලුවන් කියල තිබුණනෙ.ඉතින් ජනප්‍රියතාව වුණත් ඔයවිදියට සාදාරණව මනින්න බැහැ කියල පොඩි ළමයෙකුට වුණත් තේරෙනවා.ඔය අතරෙ කතා තිබුණා සමහර තරඟකරුවන් කුලියට මිනිස්සු දම්මලා ෆෝන්,සිම් අරන් දීලා sms ගැස්සවීමේ වැඩකුත් තිබුණ කියලා.අපිනම් ඕවයෙ ඇත්ත නැත්ත දන්නෙ නැහැ,එහෙම වුණා වෙන්න බැරිත් නැහැ.sms ඕනතරම් එවන්න පුළුවන් කළේ ඒ එවන හැම sms පනිවිඩයකටම අර නාලිකාවට කොමිස් මුදලක් අර අදාල ටෙලිෆෝන් ජාල කොම්පැනියෙන් ලැබෙන හින්දා.කොහොමහරි විනිශ්චයකාරයන්ගෙ තීරණෙට හරියන්නෙ නැති තරඟකාරයොත් ගොඩක් ඉස්සරහට යනවා වගෙම සමහර වෙලාවට රියැලිටියෙ දිනුමත් ලබාගන්නවා අසීමිත sms මනාප හින්දා.ඔය විදියට ඉවර වෙච්ච රියැලිටියක ගුටි කෙලියකුත් අපි පහුගිය කාලෙ දැක්කනෙ.....;)

ඔන්න ඉතින් දැන් රියැලිටිය දින්නා කියමුකො.ඒ දිනපු තරඟකාරයට ඊට පස්සෙ මොකෝ වෙන්නෙ?.දැන් ඉවරකරපු රියැලිටි වල දිනපු සමහර අය අද ලංකාවෙත් නැහැ,කොටින්ම කියනවනම් ලොවෙත් නැහැ.එක රැයෙන් සුපිරි තරු පායලා බැහැලා යනවා.මුල කාලෙ රියැලිටි වලින් දිනපු අයනම් දැන් නැති එක කමක් නැහැ කියමුකො,මේ ඊයෙ පෙරේද ඉවරවෙච්ච රියැලිටි දින්න අයත් දවස් දෙක තුනකින් පස්සෙ දකින්නවත් නැහැනෙ.ඇත්තටම වෙන කෙනෙක් දිනුවනම් යම්කිසි වැඩක් කරන්න පුලුවන් කෙනෙක් රියැලිටියෙන් බිහිවෙන්න ඉඩතිබුණු අවස්ථාත් තියනවා.සමහර වෙලාවට දිනපු කෙනාට වඩා වෙන කෙනෙක් සාර්ථක වෙනවා තමන්ගෙ ක්ෂේත්රය ඇතුලෙ.රියැලිටියෙන් ඇත්තටම සදාකල් පවතින තරු හදන්න බැහැ.තමුන්ට හැකියාවක් කියනවා කියන එක රියැලිටියකින් හොයාගන්න පුලුවන්.එතනින් එහාට තමන්ගෙ සාර්ථකත්වය හදාගන්න ඕනෙ තමන්මයි.ඉතින් එහෙම උනන්දුවක් නැති අයට දිනුම ලැබුනම දිනුම ගත්තා කියනව මිසක් වෙන තැනකට,වෙන ඉලක්කෙකට යන්න එයාල සමත්වෙලා නැහැ.ඒක හදන්නනම් ඉතින් කට්ටියගෙ ආකල්ප මුල ඉඳන් හදන්න වෙනව.

ඔයින් මෙයින් ඉතින් දැන් රියැලිටිය ගායනේ විතරක් නෙවෙයි,හැම අංශෙකින්ම වගේ දකින්න තියනවා.නටන්න,වැඩ පෙන්නන්න වගේම දැන් සෑහෙන ජනප්‍රිය එකක් තමා මේ පොඩි උන්ට තියන රියැලිටි වැඩසටහන්.ඉස්කෝලෙවත් නොයන කිරිසප්පයො හිටන් මෙව්වට එනවනෙ. ඒ වගේයැ කියන සින්දු.අමරදේව වගේ භාවපූර්ණ ගායක ගායිකාවන්ගෙ සින්දු තමා ඒ පොඩ්ඩො කියන්නෙ.අපි පොඩිකාලෙනම් ඔය දියගොඩ සැමතැන,නිල් අහස්තලේ,සැළලිහිණි කොවුල් වගේ සින්දු තමා කිවුවෙ.තරඟයක් නිසා යම්කිසි මට්ටමක තියන සින්දු කියන්න ඕනෙ තමා.නමුත් පොඩි ළමයෙක්ට කියන්න පුලුවන් සින්දුයි බැරි සින්දුයි මොනවද කියලා ඕවට ළමයි ඉදිරිපත්කරන දෙමවුපියොයි,තරඟ විනිශ්චයකාරයොයි ඔක්කොම වටහාගෙන ඉන්න ඕනෙ.ඔය පොඩ්ඩොන්ගෙ රියැලිටියක් නිකන් බලන්න මම බොරුද කියන්නෙ කියලා.අනික ඉස්සර පොඩි උන්ට අම්මලා තාත්තලාගෙන් වදේ තිබ්බෙ 5 ශිෂ්‍යත්වෙට විතරයි.දැන් ඒවටත් කලින් රියැලිටි මානසිකත්වය දෙමවුපියන්ගෙ ඔලුවට ඇවිත්.ඇත්තටම තමුන්ගෙ ළමයට දක්ෂකමක් තියනවනම් තරඟයකට ඉදිරිපත් කිරීමෙ වැරැද්දක් නැහැ.නමුත් අරයගෙ ළමය ගියා,මෙයාගෙ ළමයත් දැම්මලු ඉතින් අපේ ලමයට බැරි මොකෝ,එහෙම හිතලා නිකන් අන්ධානුකරණෙට අහුවෙන එකනම් එච්චර හොඳ දෙයක් නෙවෙයි.

දැන් කට්ටිය මේක කියවලා හිතන්න එපා රියැලිටි වල තියෙන්නෙ නරකමයි කියලා.ඇත්තටම හැංගිච්ච දක්ෂයො ගොඩක් මේ වගේ රියැලිටි වැඩසටහන් වලින් අපි දකිනවා.ඉතින් මේ වැඩසටහන් හොඳ ඉඩක් අරන්දෙනවා එහෙම දක්ෂයින්ට තරඟය දිනුවෙ නැතත් තමන්ගෙම නිර්මාණ වලින් මොකක්හරි අනන්‍යතාවයක් අදාල ක්ෂේත්රය තුල හදාගන්න.එහෙම තත්වයක් හදාගත්ත අයත් ඉන්නව.ඒ හින්දා දිනුවෙ නැතත් සහභාගී වීම වැදගත් කියන එක මෙතනදිත් අපිට පැහැදිලි වෙනව.කලාව කියන එක ඇතුලෙ කැපිල්ල එහෙම ගොඩක් දකින්නට ලැබෙනව.ඉතින් මේ වැඩසටහන් වලට ඉදිරිපත්වෙන අයට තමුන් එක්ක තරඟ කරන අය ඔක්කොම එක්ක හොඳින් ආශ්‍රය කරන්න ඕනෙතරම් ඉඩ තියනව.ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් හැමෝම එක්ක සහයෝගෙන් වැඩ කරන්න,ජය පැරදුම එක වගේ විඳගන්න පුරුදුවෙන්න වගේ ගොඩක් දේවල් අපේ තරඟකරුවන්ට ඉගෙනගන්න පුලුවන්. කියන තරමට සුන්දර යථාර්තයක් මේ රියැලිටි වැඩසටහන් වල නැහැ.ඒ සුන්දරත්වය ඇතිකරගන්න ඕනෙ තමන් විසින්මයි.........

ප.ලි :- පෝස්ට් එක ටිකක් දිග වැඩි වුණා.කියවන්න අපහසු වෙලානම් සමාවෙන්න ඕනෙ.ඒ වගේම අපේ චම්මා සහෝට ස්තූති කරනවා මේ මාතෘකාව ගැන ලියන්න කියලා දිරිමත් කිරීම ගැන.....:)