Tuesday, January 3, 2012

අලුත් ආරම්භය

2011ත් ඉවරයි ඔන්න එහෙනම්....පරණ අවුරුද්ද වවුලාටනම් එච්චර හොඳ විදියට ඉවර වුණේ නෑ...31 හැදුණු පොඩි උණක් එක්ක තමයි අවුරුද්ද ඉවර වුණේ...කමක් නෑ,උන්නු හැටියට මළා මදැයි කියනවනෙ...ඔයිට වඩා කොච්චර දේවල් නම් වුණාද පහුගිය ටිකේ...හි හි.

2011 චවුවා වෙලා ගියාට ඔන්න 2012 ජනවාරි 1 හොඳ වැඩකට අත ගහල තමයි පටන්ගත්තෙ....වවුලා කාලෙක ඉඳන් ඉරිදා උදේට දහම් පාසල් යනවානෙ.ඉගෙන ගන්න එහෙම නෙවෙයි ඔන්න.අපි ඉතින් නිසි කලට දහම් දැනුම ලබලනෙ ඉන්නෙ..;)..යාලුවෙක්ගෙ ඉල්ලීමටම ඉතින් මම දහම් පාසලේ උගන්නන්න ගියා ඉරිදට ඒ හැටි වැඩක් තිබුණෙත් නැති හින්දා.

එදා උදේ පන්සලේ පොඩි හාමුදුරුවො(පොඩි හාමුදුරුවරු කීප නමක් වැඩ ඉන්නවා,එයින් එක හාමුදුරු නමක්) පන්සිල් දීලා ඉවරවෙලා අලුත් අවුරුද්ද ගැන පොඩි අනුශාසනාවක් කළා.දහම් පාසල ගැනත්,ගුරුවරුන්ගෙ වැඩකොටස අගයමිනුත් අනුශාසනා කළ හාමුදුරුවන්ගෙ එක කතාවක් මට හොඳටම ඔලුවට වැදුනා.උන්වහන්සේ වදාලෙ මෙහෙමයි....

"තණකොළ අගිස්සකින් අපිට කටේ ඉඳුල් අයින් කරන්න පුලුවන්,කණ සුද්ධ කරන්න පුලුවන්.කිසිම වටිනාකමක් නැති,වැදගත්කමක් නැති තණකොල ගහකින් එහෙම වැඩක් කරන්න පුලුවන් නම් මෙච්චර උසස් සත්වයෙක් වෙච්ච මනුස්සයාට කරන්න බැරි මොනවද?..."

ඇත්තටම අපිට කරන්න බැරි දෙයක් තියනවද?...අතපය වෙහෙසලා ටිකක් මහන්සි වුණොත් අපිට ලෝකෙම හොල්ලන්න පුළුවන්....බෑ බෑ කිය කිය කම්මැලි කමෙන් මුකුත් නොකර ගෙවල්වලට වෙලා ඉන්න අය කී දෙනෙක් නම් ලංකාවෙ ඉන්නවා ඇත්ද?...ඒ කිවුවමයි මතක් වුණේ...ඔන්න ඉතින් අලුත් පන්ති වලට ළමයි වෙන්කරලා ඉවරවුණාට පස්සෙ මගේ පන්තියට ළමයි 4 දෙනෙක් ඇවිත් වාඩිවෙලා ඉන්නවා.මම ගිහින් ඇහුවා ළමයෙක්ගෙන් මෙහෙම,"කට්ටිය මෙච්චරද ඉන්නෙ?"..."ඔව් සර්" කියලා උත්තරයකුත් ලැබුණා.මම කෝකටත් එහා පන්තියටත් පොඩ්ඩක් ඔලුව දාලා බැලුවා වැරදිලා ඒ පන්තියට ගිය අය ඉන්නවද කියලා.ඒත් නෑ.මගේ අතට ඊටපස්සෙ ලැබුණා පන්තියට පහල ශ්‍රේණියෙන් එන්න නියමිත ළමයිගෙ නම් ලැයිස්තුවක්.ඒකෙ හිටපු 36 දෙනෙක්ගෙන් ජනවාරි 1 වෙනිදා ඇවිත් තිබුණෙ 4 දෙනයි...ඔන්න ඕකයි තත්වෙ අද ලංකාවෙ.

1 වෙනිදාම කම්මැලිකමට ගෙදරට වෙලා හිටපු පොඩි එවුවො 32 ගැන හිතුවාම ඉස්සර අපේ අම්මලා අපි පොඩි කාලෙ කිවුව කවියක් මතක්වුණා මට...

"කම්මැලි කොල්ලනේ
පොල්කටුව ගෙන අතිනේ
පලයවු හිඟමනේ
තොපට නැත වෙන වැඩක් ඉතිනේ"

පහුගිය අවුරුද්ද කම්මැලි කමින් ගෙවාදාපු අය පොඩ්ඩක් හිරි ඇරලා ප්‍රාණවත් වෙන්න.බෑ කිවුවොත් හැමදාම බෑ තමයි.මේ අලුත් අවුරුද්දෙ අලුතින් පටන් ගන්න ජීවිතය.තවමත් පරක්කු නෑ.වෙනස් වෙනවා නම්...ජීවිතය වෙනස් කරගන්න උවමනා නම් හොඳටම කල් තියනවා.අදින් පටන්ගන්න වෙනස්වෙන්න.තමුන්ගෙ වටිනාකම අඳූනාගෙන ඒ අනුව වැඩ කරන්න.තණකොල ගහකින් අච්චර දේවල් කරන්න පුළුවන් නම් මනුස්සයාගෙ චින්තන ශක්තිය යොදවලා කරන්න පුළුවන් වැඩ කොටස හරිම විශාලයි.

ඒ හින්දා කවුරු කවුරුත් ඒ තණකොල ගහ ආදර්ශෙට අරගෙන මේ අවුරුද්ද අලුත් හැඟීමකින් පටන්ගන්න.කාටවත් වරදින්නෙ නෑ..හැමෝටම සුබම සුබ,ප්‍රර්ථනා ඉෂ්ට වෙන අලුත් අවුරුද්දක් වේවා කියලා පැතුවා එහෙනම්!!!.....:)

Monday, December 26, 2011

මම ඔයාට කැමතියි....ඔයා ඒක දන්නවද?...



ඔන්න ආයෙමත් සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තට ආවා.ටික දවසක් නිවාඩු හින්දා ලැබුණ විවේකයෙන් තමා මේ පෝස්ට් එක ලියන්න හිතුවේ.ගොඩක් අය ඇහුවා බ්ලොග් එක ආයෙත් ලියන්නෙ නැද්ද කියලත්.ඒ හැමෝගෙම ප්‍රශ්නවලට උත්තරෙත් එක්ක තමා මේක පලවෙන්නෙ...:)

මම ආරම්භය ගන්නම් බ්ලොග් එක පටන්ගත්ත තැනින්ම.ආදර මල් වල පාට බලපු අයට මතකද දන්නෑ මම කථාවට මුලපුරපු විදිය ගැන.ඒක නොබලපු අයත් ඉන්නවා ඇතිනෙ, බලපු අයටත් මතක නැතිව ඇති.කවුරු කවුරුත් එහෙනම් ආදර මල් වල පාට බලලා එමුකො ටක් ගාලා.

හරි.මම ඕකෙ මුලම ඡේදයෙ කියලා ඇති "...කොල්ලා ඉතින් දවසක් එහෙම දාගෙන,හොඳ කිට් එකක් එහෙම ගහලා,යාලු මිත්තරයන්ගෙ කික් එකෙන් ගිහින් කෙල්ලගෙන් අහනවා කැමතිද කියලා..." කියලා කොටසක.මේක දෑකපු කාටවත් සමහරවිට අමුතු දෙයක් හිතෙන්න නැතිව ඇති.ඒත් ලඟදි දවසක යාලුවෙක් අහපු කතාවක් එක්ක මම ඒ ගැන ටිකක් කල්පනා කලා.මෙතනදි මම කියලා තියෙන්නෙ "කොල්ලා කෙල්ලගෙන් අහනවා කැමතිද කියලා..." මිසක් "කෙල්ල කොල්ලගෙන් අහනවා..." විදියට නෙවෙයි නෙ.කාටවත් හිතුනෙ නැද්ද එතන මොකක් හරි අවුලක් තියනවා කියලා?.නැහැ,ඒක 99% කටම පේන්නෙ නෑ කියලා මට බය නැතුව කියන්න පුලුවන්.ඔය වාක්‍ය කෑල්ලෙන් අදහස් වෙන්නෙ ලව් එක එලියට දාන්න මුලින්ම ඉස්සරහට එන්න ඕනෙ කොල්ලා කියල නේද?...දැනට සම්ප්‍රදාය නම් ඒක තමයි.අනික දැන් සමාජයේ ඇත්තටම පිලිගන්න අදහසත් ඒකම හින්දා තමයි ඒකෙ මුකුත් ප්‍රශ්නයක් කාටවත් නොපෙනුනේ.

ගොඩක් දෙනා හිතන් ඉන්නෙ කැමැත්ත ප්‍රකාශ කරන එක කොල්ලට විතරක් අයිති වැඩක් කියලයි.මමනම් එකට එකඟ නැහැ.අපි අද කාන්තා විමුක්තිය ගැන,කාන්තාවට නිසි තැන ලබාදෙන එක ගැන ලොකුවට කතා වෙනවා.ඒත් ඇයි ඔය කාරණාවෙදි අපි ඒ ගැන හිතන්නෙ නැත්තෙ?.කවුරු කැමැත්ත ප්‍රකාශ කරත් දෙන්නට දෙන්නා කැමතිනම් එතනදි ප්‍රශ්නයක් වෙන්නෙ නැහැනෙ.ආදරය කරන්න කෙල්ලන්ට පුලුවන්නම් ඒක කිවුවාය කියලා වෙනසක් හිතන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ.

දෑන් මේක කියවන කෙල්ලො කොල්ලො ඔක්කොම ටික බලනව ඇති මට මේ තියන රුදාව මොකක්ද කියලා මේ ගැන කතා කරන්න.මම මේ කියන්න හදන්නෙ මීට පස්සෙ කෙල්ලො, කොල්ලො ගාවට ඇවිත් කැමතිද අහන්න ඕනෙ කියල නෙවෙයි.කෙල්ලොත් ගොඩක් කැමති කොල්ලගෙන් වැඩේට ආරම්භයක් ලැබෙනවනම් තමයි.ඒත් සමහර වෙලාවට ගෑනු ලමයෙක්ගෙ හිතේ කොල්ලෙක් ගැන කැමැත්තක් තියෙනවා.ඒත් කොල්ල අහන පාටක් නෑ.ඉතින් කෙල්ලට ඒක අර කොල්ලට කියාගන්න බැරිවීම හින්දා ලස්සනට ලියවෙන්න තිබුණ ආදර කතා කීයක් නම් නැතිවෙලා යන්න ඇද්ද?.ඒක එහෙම වෙලා තියෙන්නෙ තමන්ගෙ කැමැත්ත මුලින් කියන,ප්‍රකාශ කරන ගෑනු ලමයි සමාජෙ හංවඩු ගැහිලා තියෙන්නෙ "කෑල්ල","අයිටම් එක" සහ තවත් මෙතන කියන්න අමාරු වචන වලින්.පිරිමි ලමයි අතරෙ විතරක් නෙවෙයි,ඔය වචන ගෑනු ලමයිනුත් පාවිච්චි කරනවා.තමුන්ට කැත නමක් හදාගන්න ඕනෙ නැති හින්දා එහෙම කැමැත්තක් තියන ගෑනු ලමයින්ගෙන් ගොඩක් අය නිශ්ශබ්දව ඒක හිතේ හංගගෙන ඉන්නවා.

මිනිස්සුන්ට පදයක් හදන්න,හිනාවෙන්න බලන් ඉන්න කුහකයන්ගෙන් පිරුණ සමාජයක් තමා අපේ රටේ තියෙන්නෙ.ඉතින් තාමත් 3වෙනි ලෝකෙ රටක් වෙලා තියන එක අහන්න දෙයක් යැයි.ඉතින් මේ වගේ මන්දබුද්ධික,අවිචාරමත් වැඩ නොවෙන්න නම් සමාජීය චින්තනයේ ලොකු වෙනසක් වෙන්නම ඕනෙ.ඒක දවසකින් දෙකකින් වෙයි කියලා හිතන්න අමාරුයි.නමුත් කවදා හරි ඒක එහෙම වේවි....:D

මම මෙච්චර වෙලා කියන්න හැදුවෙ ගෑනු ලමයෙක් තමුන්ගෙ හිතේ කොල්ලෙක්ට කැමැත්තක් තියනවනම් ඒක මුලින් ප්‍රකාශ කරාට කිසිම වරදක් නෑ කියලා.ඒක මූණටම කියනවා වෙන්නත් පුලුවන්.එහෙම නැත්තන් ඔය කතාබහෙන්,බලන විදියෙන්,කරන වැඩවලින් අඟවනවා වෙන්නත් පුලුවන්.අන්න එහෙම කැමැත්ත පෙන්නනවනම් අපේ කොල්ලොත් ඉතින් දැනගන්න ඕනෙ වෙන්නෙ මොකක්ද,කරන්න ඕනෙ මොකක්ද කියලා.කෙල්ලන්ටම ඔක්කොම කරන්න ඉඩ දීල බලන් ඉන්නත් හොඳ නැහැනෙ....:P.කෙල්ලන්ට කියන්න තියෙන්නෙ එහෙම තමුන් කැමති කොල්ල අවිත් තමුන්ගෙන් ඇහුවෙ නැත්තන් තමුන් හරි ගිහින් ඒ කොල්ලගෙන් අහන්න කැමතිද කියලා.මොකද තවත් අවුරුදු ගානක් ගියාට පස්සෙ ඔයාල සමහරවිට පසුතැවෙයි ඒ වෙලාවෙදි මොකක් හරි පියවරක් ගත්තෙ නැති එක ගැන.ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බැරි හින්දා ඒ වෙලාවට තියන නුවණ පාවිච්චි කරන්න.එතකොට අන්තිමේදි සියල්ලෝම සතුටින් විසිර යයි.....;)

ප.ලි - කොල්ලො මේ පෝස්ට් එක කොහොම දකීද දන්නෙ නැහැ.කොහොමවුණත් මාතෘකාව සංවාදයට විවෘතයි.වෙනස් අදහස් තියනවානම් ඒව කියන්න කිසි අවුලක් නෑ....:)

Thursday, November 10, 2011

මිතුරන් අතරේ පමණයි....

යාලුවො කියන්නෙ අපිට හැමතැනම හම්බවෙන,අපේ දුක සැප හොයලා බලන,මොන දේ වුණත් අපිව දාලා නොයන,අපේ වැරැද්දක් වුණත් හොදක් වුණත් මූණටම කියන්න පුලුවන්,හරි අමුතුම කට්ටියක්.මෙයාලා අපි හැමෝගෙම වගේ ජීවිතවල දකින්නට පුලුවන්.මිනිහා කියන්නෙ සාමූහිකව ජීවත්වෙන්න හැඩගැහුණු සතෙක්නෙ.ඉතින් යාලුවො කවුරුත් නැතිව තනියෙන්ම මේ සමාජයේ ඉන්න කෙනෙක්ව අපිට හම්බවෙන්නෙ හරිම කලාතුරකින්.කැම්පස් එකේදිනම් තනියම ඉන්නවාට කියන්නෙ "අල" වෙනවා කියලා.ඔයාලා දන්න එහෙම ඉන්න කට්ටියත් ඇති.මතක් කරලා බලන්නකො......

මම සාමාන්‍යයෙන් බණ පොත අතේ අරන් ඉන්න ජාතියෙ කෙනෙක් නෙවෙයි.නමුත් බුද්ධ ධර්මය ගැන තරමක දැනීමක් තියනවා.යාලුවො ගැන කියපු ගමන් මට මතක් වුණා බුදු හාමුදුරුවො යාලුවො ගැන දේශනා කරපු දෙයක්.මේක සිඟාලෝවාද සූත්රයෙ තමයි තියෙන්නෙ.ඒකෙදි බුදුන් වහන්සෙ ඇසුරු කළයුතු මිතුරන් 4කුත්,ඇසුරු නොකළ යුතු මිතුරන් 4කුත් ගැන දේශනා කළා.ඇසුරු කරන්න කියලා වදාළෙ උපකාරක,සමාන සුඛදුක්ඛ,අත්ථක්කායී සහ අනුකම්පක කියන මිතුරන් 4 දෙනායි.උපකාරක කියන්නෙ වැරදි වැඩවලට යොමුවෙලා ඉන්න කෙනෙක්ව ඒවායින් ගලවගන්න,එහෙම යොමුවෙච්ච යාලුවගෙ ධනය,වස්තුව ආරක්ෂා කරන,යාලුවා බය වෙච්ච වෙලාවක පැනලා යන්නෙ නැතිව පිහිට වෙන,උදවුවක් ඕනෙ වෙච්ච වෙලාවක උදවු කරන මිතුරාට.සමාන සුඛදුක්ඛ මිතුරා අපිට කරදරයක් වුණත් යහපතක් වුණත් වෙනසක් නැතිව අපි ලඟින්ම ඉන්නවා,එයාගෙ රහස් නොසඟවා අපිට කියනවා,අපි එයාට කියපු රහස් ඒ විදියටම ආරක්ෂා කරනවා.පස්පව්,දස අකුසල් වලින් අපිව වලක්වගන්නෙත්,කලයුතු හොඳ වැඩවල අපිව යොදවන්නෙත්,ආර්ථික,අධ්‍යාත්මික, සාමාජික,ආගමික වගේ දේවල් වලින් අපි දන්නෙ නැති දේවල් කියලා දෙන්නෙත් අත්ථක්කායි මිතුරා.අනුකම්පක තමයි අපේ ආර්ථික හෝ ආධ්‍යාත්මික පිරිහීමක් ඇතිවෙනවට අකමැති,අපේ දියුණුව දැකලා සතුටුවෙන,අපිට දොස කියන අයට ඇත්ත කියලා එයාලාගේ දුර්මත අයින් කරන,අපේ හොඳ කියන අයව පැසසුමට ලක් කරන මිත්රයා.

ඒ වගේම තමයි ඇසුරු නොකළ යුතු මිතුරන් විදියට අනුප්පියභාණී,අඤ්ඤදත්තුහර,අපායසහාය සහ වචීපරම කියන හතර දෙනාව වදාළා.අපි කරන හොඳ නරක දෙකම එක විදියට අනුමත කරන්නෙත්,අපි ඉන්න තැන අපේ හොඳ කියලා නැති තැන දොස් කියන්නෙත් අනුප්පියභාණී පාප මිතුරා.අඤ්ඤදත්තුහර තමයි අපේ සන්තකේ තියන මොනවහරි දෙයක් කඩාවඩා ගෙන යන්න හදන,හැමතිස්සෙම ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් අපිව ඇසුරු කරන පාප මිතුරා.අපායසහාය අපිව නොමගට යොමු කරවනවා,කරන හොඳ දේවල් වලින් වළකනවා,සුරාවට,සූදුවට අපිව ඇබ්බැහි කරවනවා.අපිට හිස් දේවල් වලින් විතරක් සංග්‍රහ කරන්නෙ,වචනයෙන් මිසක් ක්‍රියාවෙන් කොයිම වෙලාවකවත් අපිට සහය නොවෙන,අපිට ඉස්සරහට යන්න තියන මාර්ග ඔක්කොම වහලා දාන පාප මිත්රයා තමයි වචීපරම.

[දැන් ඉතින් ඔයාලටම හොයාගන්න පුළුවන් ඔයාලා යාලුවො කියලා මෙච්චරකල් ආශ්‍රය කරලා තියෙන්නෙ ඇත්තටම කළණ මිතුරන්වම ද කියලා ඔන්න....:)]

දැන් සමහරු හිතන් ඉන්නවා ඉපදිච්ච දවසෙ ඉඳන් දන්න යාලුවා තමයි මගේ කළණ මිතුරා,පස්සෙ අඳුනගන්න අය එහෙම නෙවෙයි කියලා.ඒත් සමහර වෙලාවට ඉපදුන දවසෙ ඉඳන් අඳුනන යාලුවා වෙන්න පුලුවන් ඔයාලට වින කරන්න එන හතුරා,පස්සෙ දවසක දැන අඳුන ගත්ත යාලුවා තමන් වෙනුවෙන් පෝරකෙට යන්න උණත් ලෑස්ති කෙනෙක් වෙන්න පුලුවන්.කෙනෙක්ව තමන් කොච්චර කාලයක් දැනගෙන හිටියද කියන එක යාලුකමේ හැටි සලකද්දි වැදගත් වෙන්නෙ නැහැ.මට පෞද්ගලිකව පහුකාලීනව ගොඩක් හොඳ යාලුවො හම්බවෙලා තියනවා.උදාහරණයක් විදියට බ්ලොග් කෙරුවාවට අත ගැහුවයින් පස්සෙ මම බොක්කෙන්ම ආශ්‍රය කරන යාලුවො කීප දෙනෙක්ම හම්බවුණා.හිතූ,මදාරා,මධූ ඒ අතරින් හොඳම යාලුවො.අත්දැකීමන් මම දන්නවා මේ අය ඔක්කොම අර ඇසුරු කළයුතු මිත්රයො ගොඩේ ඉන්න කට්ටිය කියලා.ඉතින් ඒ හින්දා මේ අයගෙන් ගොඩක් අය තවමත් ඇහැටවත් දැකලා නැතිවුණත් මට හිතේ බයක් නැතුව එයාලව ආශ්‍රය කරන්න පුලුවන්.

සමහරුන්ට යාලුවන්ව ආශ්‍රය කරන්න බය හිතුනද දන්නෙත් නැහැ දැන්.හි හි.තමුන් ආශ්‍රය කරන යාලුවන්ගෙ ගති පැවතුම් මොන වගේද,තමන් එක්ක කතාබහ කරන්නෙ මොන වගේ දේවල් ගැනද, වගේ ඒ ඒ යාලුවන්ගෙ ඇතුලාන්තය ගැන අවබෝධයක් තියනවනම් යාලුවො ආශ්‍රය කරන්න කිසි දේකට බයවෙන්න ඕනෙ නැහැ.අපි යාලුවන්ගෙන් ඈත්වෙන්න ඈත්වෙන්න,එයාලත් අපෙන් ඈත් වෙනවා.ඒ හින්දා හොඳ යාලුවන්ව හැමතිස්සෙම තමන් ලඟින්ම තියාගන්න.යාලුවෙක් තමන්ගෙ වරදක් තමන්ටම කියනවනම් ඒ ඔයාගෙ ඇත්ත යාලුවෙක්.එහෙම අය එක්ක තරහ වෙන්න එපා.එයාල තමයි අපිව හරි පාරෙ අරන් යන්නෙ.ඒ වගේම යාලුවන්ට සමහර වෙලාවට එක එක ගැටලු,ප්‍රශ්න තියෙන්න පුලුවන්.එහෙම වෙලාවට අපි එයාලට ශක්තියක් වෙන්න ඕනෙ.එයාලා ගාවින් දුකේදි සැපේදි එකට ඉන්න ඕනෙ.ඔයාලා අනිත් අයට හොඳ යාලුවෙක් නොවී අනිත් අයගෙන් හොඳ යාලුකමක් බලාපොරොත්තු වෙනවනම් ඒක විහිලුවක්.අනිත් අයව හදන්න,මනින්න කලින් තමන් හරියට ඒ විදියට හැදිලා ඉන්න ඕනෙ.යාලුවො අතරත් එක එක ප්‍රශ්න ඇතිවෙනවා.එහෙම වෙලාවට හැමදෙනාම එකතුවෙලා ඒ ප්‍රශ්න විසඳගන්න වැඩ කරන්න ඕනෙ.මොකද හොඳ යාලුවෙක් අපිට ජීවිතේ හම්බවෙන්නෙ එක වතාවක් විතරක් වෙන්න පුලුවන්.......

අන්තිමටම මේ ගාථාවත් කියලාම පෝස්ට් එක ඉවරකරන්නම්....

"අසේවනාච බාලානං - පණ්ඩිතානංච සේවනා
පූජාව පූජ නීයානං - ඒතං මංගල මුත්තමං "

"අසත්පුරුෂ බාලයන් ඇසුරු නොකීරිමද,සත් පුරුෂ පඬිවරුන් ඇසුරු කිරීමද, පිදිය යුත්තන් පිදීමද, ( යන මේ කරුනු තුන ) උතුම් මංගලයන්ය."

Saturday, October 22, 2011

පරෝපකාරය

ආයෙමත් ටිකක් කල් ගියා පෝස්ට් එකක් දාන්න.මේ සැරේනම් වැඩ වැඩි වෙලා නෙවෙයි.ටිකක් කම්මැලිකමෙන් තමයි හිටියෙ.අනික ලැප් එක සතියක් විතර ලඟ තිබුණෙත් නැහැ.මම වෙනත් පෝස්ට් එකකට මුල පුරල තිබුණෙ.නමුත් මේ ලියන්න හදනකතාව ඉක්මනට ඉවරකරන්න පුළුවන් නිසාත්,උණුසුම මැකෙන්න කලින් ලියන්න ඕනෙ කියල හිතුණු නිසාත් මේකට යොමුවුණා.

ඔන්න ඉතින් ගිය සතියෙ ඉරිදා මට අපේ සහෝ කෙනෙක්ගෙන් දුරකථන ඇමතුමක් ආවා."මචං වවුලා,අනුරාධපුරේ වර්ක්ෂොප් එකක් තියනවා දවස් 4ක,එනවාද?".එදා ටිකක් අසනීප ගතියෙන් හිටි නිසා හිතේ දෙගිඩියාවකුත් තිබුණා.ඒත් කලින් මේ වගේ අත්දැකීමක් ලැබිලා තිබුණෙ නැති හින්දා යන්න ආසාවකුත් තිබුණා.කොහොමහරි අවසර ගන්න ඕනෙ සියලුම පාර්ශව වලින් අවසර අරගෙන(දන්නෝ දනිති....;) ) 17 වෙනිදා මම ගමන යන්න පිටත් වුණා.වර්ක්ෂොප් එක සූදානම් කරල තිබුණෙ අපේ Compsoc එකෙන්.සමහරු බලනව ඇති දැන් මේ වර්ක්ෂොප් එකක් කිවුවම මොකක්ද වෙන්නෙ කියලා.මේ ගමනෙදි අපේ අරමුණ වුණේ අනුරාධපුර ප්‍රධාන පාසලක A/L,O/L නංගිලා මල්ලිලාට එයාලාගේ GIT,ICT විෂය නිර්දේශ මුල ඉඳන් පැහැදිලි කරල කියලා දෙන එක.සාමාන්‍යයෙන් කුප්පි දාන්න යම්කිසි හැකියාවක් තිබුණ හින්දයි,පොඩි උන් ටිකකට උදවුවක් කරන්න ලොකු වුවමනාවක් තිබුණු හින්දයි මම මේ ගමනට එකතුවුණේ.ඉතින් එදා 10.40 ට තිබුණ කෝච්චියෙන් අපි 11 කුත්,අයියලා 13කුත් කොටුවෙන් ගමනාරම්භ කළා.ටිකින් ටික කාලය ගතවෙද්දි මැදිරිය දෙදරන කල්ම අපි ඔක්කොම සින්දු කිවුවා.අයියලා,අපි කියලා වෙනසක් නැහැ,හැමෝම එකම පවුලෙ සහෝදරයො වගේ තාලය ඇල්ලුවා,අත්පුඩි ගැහුවා.ඔය අතරෙ කුරුණෑගලින් තවත් 3 දෙනෙක් අපේ කණ්ඩායමට එකතුවුණා.දැන් අපේ ඔක්කොම කට්ටිය 27ක් ඉන්නවා.ගමන ටිකක් විතර වෙහෙසකර වුණත් හරිම විනෝදයි.මග විසිතුරු බල බල,එකිනෙකාට විහිලු තහලු කර කර ඔහොම යද්දී නොදැනිම හවස 5.30ට විතර අපි අනුරාධපුරට සැපත් වුණා.

අනුරාධපුරම ඉන්න අපේ අයියා කෙනෙක් අපිව වර්ක්ෂොප් එක කරන්න හිටපු පාසැලට එක්කගෙන ගියා.අපිට නවාතැන්,කෑම බීම ඔක්කොම එහෙන් ලෑස්ති කරලා තියන බව කලින් දැනුම් දීලා තිබුණෙ.නමුත් ඒ පාසැලෙ විදුහල්පතිනිය ගෙ සමහරක් වැඩ නිසා අපිට එදා රෑ නම් ගත කරන්න වුණේ හිතේ තරහක් එක්ක.කොහොමහරි වර්ක්ෂොප් එකට O/L නංගිලා මල්ලිලා සහභාගී කරවන්න බැහැ කියලා විදුහල්පතිනිය තීරණය කරලා තිබුණ හින්දා අපි ඔක්කොම දෙනා A/L GIT විෂය නිර්දේශය බෙදාගෙන එදා රෑම අදාල කොටස් වලට සූදානම් වුණා.හැම කොටසකටම අයියලයි අපියි සහභාගී වුණ හින්දා මෙච්චරකල් හරියට අඳුනා ගත්තෙ නැති අයියලා එක්ක අපි කතාබහ කරලා තවත් හොඳින් ෆිට් වුණා.අදාල පාඩම් කොටස් බලලා ඉවරකරලා කවුරුත් නිදාගන්නකොට වෙලාව රෑ 12 ත් පහුවෙලා.අපිට නවාතැන් ලැබුණෙ ඉස්කෝලෙ හොස්ටල් එකේ,ඉතින් පාන්දර 5.30ට තේ හදනවා.යාන්තම් ඇහැ පියවගෙන පහුවෙනිදා පාන්දර හැමෝම 5.30 වෙනකොට නැගිට්ටෙ තාමත් ගමන් මහන්සිය ඇඟෙන් පතෙන් බේරෙන ගමන්මයි.

ඉතින් අපි කඩිමුඩියෙ වැඩේට ලෑස්ති වුණා.කවුරුත් ලහි ලහියෙ දත් මදිනවා,මූණ හෝදනවා,අමත වෙච්ච පාඩම් කොටස් බලනවා.වර්ක්ෂොප් එකේ වැඩ පටන්ගන්න හිතාගෙන හිටියෙ 8.30ට විතර.ඒත් මොකක්දෝ මන්දා ප්‍රමාදයන් ගොඩක් වෙලා අපි වැඩේට එන්ටර් වෙනකොට වෙලාව 9ත් පහුවෙලා.අටුවා ටීකා නැතුව අපි වර්ක්ෂොප් එක පටන් ගත්තා.නංගිලා මල්ලිලා කොටස් 5කට බෙදලා කියලාදෙන්න පටන්ගත්තා.මම බාර අරන් තිබුණෙ DBMS කොටස.ඉතින් මම මුල පන්තියට ඒ පාඩම කියලා දුන්නා.අයියලා අපි එකට දාපු තවත් හේතුවක් තමා වර්ක්ෂොප් එකක වැඩ කරන විදිය අපිට කියලා දෙන්න.මාත්,අපේ තවත් දෙන්නෙකුත් අයියා කෙනෙකුත් තමයි DBMS පාඩම කියලාදෙන්න හිටියෙ.ඉතින් අපේ වැරදි අඩුපාඩු හරිගස්සන ගමන් අපේ හොඳ කියන්නත් අයියලා අමතක කලේ නැහැ.

ආයෙමත් ඉස්කෝලෙකට ආවම අපේ පාසල් කාලෙ මතක් වෙනවා.එකට හිටිය යාලුවො,උන් එක්ක නටපු නාඩගම්...මේ ඔක්කොම.මල්ලිලා දිහා බැලුවමත් ඒ කාලේ අපිව මම එයාලා තුලින් දැක්කා.ඉතින් අපි කවුරුත් ගුරුවරයෙක්ට වඩා,සහෝදරයෙක්,සහෝදරියෙක් කියන හැඟීමෙන් තමයි කියලා දෙන එක කලේ.ප්‍රථිඵලත් සෑහෙන තරම් සාර්ථක බව සැකයක් නැහැ.ලැබුණ පැය 4 1/2 ක කාලය ඇතුලෙ අපි ගොඩක් ලොකු වැඩ කොටසක් කළා.සමහර නංගිලා මල්ලිලාට නීරස වෙලා,තේරෙන්නෙ නැතුව තිබුණ පාඩම් කොටස් අපි සරලව,විහිලු තහලු කරන ගමන්ම කියලා දුන්නා.ඔක්කොම දේවල් කියලා දෙන්න නම් කාලය කොහෙත්ම මදි.නමුත් අපේ උත්සහය අහක නොගිය බව අපි දැනගත්තෙ ගොඩක් දෙනෙක් ලඟටම ඇවිත් "අයියෙ,තැන්ක්යු මේවා අපිට කියලා දුන්නාට" වගේ දේවල් කියපු නිසා.හිතට හරිම සතුටක් දැනෙනවා එහෙම කියනකොට.අර ගමන් මහන්සියයි,නිදිමරපු වෙහෙසයි ඔක්කොම ඒ වචන ටික අහනවත් එක්කම කොහෙන් ගියාද කියල නෑ.විභාගෙ ගොඩදාලා අම්මා,තාත්තාගෙ පැතුම් ඉෂ්ට කරන්න පොඩි එවුවන්ට හයියක් වෙන්න ලැබුණ එක ගැන පුදුම සන්තෝසයක් හිතුණා.මට එවෙලෙ මේ කවිය මතක් වුනේ නිකන්ම...

"පහනින් පහන් සිය ගණනක් ඇවුළුවද
එපහන් සිලෙහි අළු අඩු නොව දිලෙන ලෙද...."

අපි දන්න දෙයක් තවත් කෙනෙක්ට කියලා දුන්නට කවදාවත් තමුන්ට හානියක් වෙන්නෙ නෑ,හොඳක් මිසක,මට ඒක ගොඩක්ම හිතට වැදුනෙ කැම්පස් ආපු මුල කාලෙ ඔරියන්ටේෂන් එකෙන්.කියවන අයට පොඩි උපදෙසක් දෙන්න හිතුනා,තමුන්ට අමාරුයි වගේ හිතෙන ඕන සබ්ජෙක්ට් එකක් තමුන්ගෙ යාලුවෙක්ට නිකන් කියලා දීලා බලන්නකො,අනිවාර්යෙන් කලින් තේරුණාට වඩා වැඩියෙන් ඒ පාඩම තේරේවි.අනික එහෙම කියලා දෙනකොට අමුතුවෙන් පාඩම් කරන්න ඕනෙ නෑ.ඉබේම මතක හිටිනවා.

හරි,ඔය විදියට ලෑස්තිවෙලා ගියාට කලින් අපිට වැඩ ටික ඉවරකරලා එන්න සිද්ධවුණා.නමුත් හවස් වරුවෙ පූජා නගරෙ ටිකක් ඇවිදින්නත් අපි අමතක කලේ නැහැ.රුවන්වැලි සෑය ලඟදි අපි කවුරුවත් අහපු නැති හරි ලස්සන බෞද්ධ කතා,ඉතිහාසයෙන් වගේම ධර්මයෙනුත් අරගෙන අපිට කියලා දුන්නෙ අපේ හර්ෂ,වරුණ,අනිල් අයියා,කැලුම් අයියා වගේම මාධව අයියා.ජේතවනාරාමය,ජය ශ්‍රී මහා බෝධිය වගේ තැන්වලට යන්නත් අපිට පුළුවන්කම ලැබුණා.දවාලෙ ඕනතරම් ඔය තැන් වල ගියත් රෑ වෙලාවක යන්න ලැබුණෙ පලවෙනි සැරේට.හරිම ලස්සනයි එ වගේම හරිම ශාන්තයි.

ඔය විදියට ඉතින් ලොවෙත් ආතල් අරගත්ත අපේ වර්ක්ෂොප් ගමනෙ අවසානයෙදි අපි 19 වෙනිදා පාන්දර 12.20 ට විතර අපි අනුරාධපුරෙන් බස් එකට නැගලා පාන්දර 5.30 වගේ වෙනකොට කොටුවට ආයෙත් ආවා.ආයෙත් ඒ වගේ ගමනක් යන්න ලොකු ආසාවක්,වුවමණාවක් හිතේ තියනවා,බලමු,ඉස්සරහ වැඩ එක්ක ඒ අදහස සාර්ථක කරගන්න ලැබේද කියලා....:)

Sunday, October 2, 2011

ආලෝකො උදපාදි

ආලෝකය.......

ඉස්සර අපි හිතන් හිටියෙ,සමහරවිට තවමත් හිතන් ඉන්නෙ විශ්වයටම අදාල,වේගවත්ම දේ ආලෝකය කියලා....නමුත්,ඒ කතාව තවදුරටත් ඇත්තක්ද??.....ආලෝකයට වඩා වේගවත් දෙයක් තවත් නැද්ද?.ඔයාලට මෙහෙම ප්‍රශ්නයක් කවදාවත් ඇතිවෙලා තියනවද කියල හිතලා බලන්නකො.තවමත් එහෙම ප්‍රශ්නයක් ඇතිවෙලා නැත්නං දැන් තමා හොඳම වෙලාව ඒ ප්‍රශ්නෙ ඇතිකරගන්න.මොකද ඊයේ පෙරේදා කරපු පර්යේෂණයකින් හොයාගන්න පුළුවන්වෙලා තියනවා ආලෝකයට වඩා වේගයෙන් ගමන්කරන දෙයක් ගැන.

ජිනීවා වල තියන CERN කියන ආයතනයේ ඉඳන් කි.මී 730ක් ඈතින් තියන ඉතාලියේ Gran Sasso කියන විද්‍යාගාරයට නියුට්‍රිනෝ කිරණ 15,000ක් අවුරුදු 3ක් තිස්සෙ යවල,ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි මේක හොයාගෙන තියෙන්නෙ.ආලෝකයේ වේගයෙන් ගියානම් මේ නියුට්‍රිනෝ ටික යන්න තත්පරයකින් 2.4 දහසකින් වගේ වෙලාවක් යනවා.නමුත් මේවා ගිහින් තියන්නෙ තත්පරයකින් බිලියන 60කින් වගේ ඉතාම සුළු කාලෙකින්.ඔයාල නිකන් බිලියන 60,2400න් බෙදලා බලන්නකොඋත්තරේ මොකක්ද කියලා.ආලෝකයේ වේගය වගේ අන්න ඒ තරම් ගුණයකින් තමයි මේ නියුට්‍රිනෝ ගමන්කරල තියෙන්නෙ.

කොහොමහරි ඉතින් මේ සොයාගැනීම හින්දා අපි ගොඩක් ආදරේ කරන අයින්ස්ටයින් මහත්තය ගෙ මත ගොඩක් බිදීලා යනවා.කොටින්ම කියනවානම් නූතන භෞතික විද්‍යාව සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙන්න බොහොම දුරට ඉඩ තියන බව තමයිආරංචි වෙන්නෙ.ඔය අතරින් තවත් මාතෘකාවක් ගැන පොඩි කසු කුසුවක් ඇතිවෙලා තියනවා.අපි කියවන විද්‍යා ප්‍රබන්ධ වල ගොඩක් වෙලාවට කාල තරණය කියන කාරණාව සම්බන්ධ වෙන්නෙ ආලෝකයේ ප්‍රවේගය ඉක්මවන්න පුළුවන් කියන විශ්වාසයත් එක්ක.ඉතින් ඒකෙ මොකක්හරි ඇත්තක් තියනවනම් අපිට ඉදිරි කාලෙකදි කාල තරණය කියන දේ අත්විඳින්න පුළුවන්වෙයි හැබැහින්ම....:).

ඉතින් මම කිවුව පලියටම විස්වාස කරන්න එපා.ඉන්ටර්නෙට් එකේ පොඩ්ඩක් හොයල බලන්න.මෙන්න එක ආටිකල් එකක් මගෙ ගානෙ.මාත් අද පත්තරේ මේ ගැන තියනව දැකලා තමයි වැඩිදුර හොයලා බැලුවෙ......:D.

Thursday, September 29, 2011

නික්මයාම

අහසේ තරු ගනින්නෙ වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ...
මුහුදේ වතුර බොන්න වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ...
අපිම දන්නෙ නෑ කවුරුත් අපිව දන්නෙ නෑ....
අපිම දන්නෙ නෑ කවුරුත් අපිව දන්නෙ නෑ....
දන්නෙ නෑ......දන්නෙ නෑ....නෑ නෑ නෑ

ඔය ඉස්සර ටෙලිවිෂන් එකේ ගිය,මම ගොඩක් ආස කරපු සිංදුවක්.......මට යාන්තමට මතකයි කලු සුදු රූපරාමු පෙළක් එක්ක කෝච්චියක දර්ශනයක් තිබුණෙ ඒ සිංදුවෙ.අදාල චිත්තරපටිය මොකක්ද කියලනම් මම දන්නෙ නැහැ ඕං(පස්සෙ හොයනකොටතමා දැක්කේ චිත්තරපටිය "බඩුත් එක්ක හොරු" කියලා).

දැන් කට්ටිය බලනව ඇති මම මොකක් ගැනද මේ කියන්න හදන්නෙ කියලා.ඒ සිංදුව බලපු කෙනෙකුටනම් පොඩි හරි ඉඟියක් ඇති.හරි හරි.මම කෙලින්ම මාතෘකාවට එන්නම්කො.ඒ සිංදුවෙ වගේම ඒ චිත්තරපටියෙත් හිටපු විශිෂ්ටතම ප්‍රතිභාපූර්ණරංගන ශිල්පියෙක් වෙච්ච ජෝ අබේවික්‍රම ශිල්පියා මීට සතියකට කලින් දැයෙන් සමුගත්තා.කලාවට මිල කරන්න බැරි මෙහෙයක් ඉටු කරලා තමයි එතුමා අපෙන් සමුගත්තෙ.1957 දි "සරදම" තුලින් රංගනයට ප්‍රවිශ්ට වුණු එතුමා 2006 වසර වනකල්ම රංගනයේ නිරත වුණා.මුල් කාලයේ විකට නළුවෙක් විදියට ප්‍රසිද්ධ වුණත් පහුකාලීනව වඩාත් ගැඹුරු චරිත වලින් අපිට එතුමාව දකින්නට ලැබුණා.අවිවාදයෙන්ම මෑත යුගයේ හිටි හොඳම රංගන ශිල්පියෙක් විදියට එතුමාව හඳුන්වන්න පුලුවන්.

ජෝ කියන්නේ රියැලිටියකින් ආපු,එක රැයින් කලාවට පයගහපු නළුවෙක් නෙවෙයි.නොපසුබට උත්සහය නිසාම නළුවෙක් වෙච්ච පුද්ගලයෙක්.බොරු ආටෝප නැතිව තමන්ගෙ හැකියාවෙන් විතරක් ජනතාවගේ හිත දිනාගත්ත කලාකරුවෙක්.කොමඩියෙන් රංගනය පටන්ගත්තත් ඒකටම කොටුනොවී ඉදිරියට ගිහින් වෙනස් දේවල් අත්හදාබලපු මිනිසෙක්.අපේ නවක නළු නිළියන්ට මෙතුමාගේ චරිතයෙන් ගන්න ආදර්ශ සෑහෙන තියනවා.ජෝ චරිතාපදානය කලාකරුවන්ට විතරක් නෙවෙයි,සාමාන්‍ය මිනිහෙක්ටත්වැදගත්.

මේ පෝස්ට් එක ලියන්න අදහස් කලේ එතුමාගේ චිත්තරපටි ගැනවත්,රංගනේ ගැනවත් කියන්න නෙවෙයි.විශිෂ්ට මිනිසෙකුගේ නික්ම යෑමට ඌණ පූරණයක් එක්කරන්න විතරයි මට ඕන වුණේ.මිනිසුන්ගේ ගුණ කියන්නට ඒ මිනිස්සු මැරෙනකන්ම ඉන්නටඕනෙ නෑ.මීට ගොඩක් කලින් ලියපු පෝස්ට් එකකත් මම ජෝ අබේවික්‍රමගේ රංගනය ගැන පැසසුමක් කළා.ඉදිරියටත් මේ වගේ දක්ෂ ශිල්පීන් කලාවට එකතුවේය කියලා සහ ජෝ අබේවික්‍රම මහතාට නිවන් සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා.

ජෝ.....ඔබ නැතිව කලාවට,

අහසේ තරු ගනින්නෙ වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ...
මුහුදේ වතුර බොන්න වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ...

Monday, September 19, 2011

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි....ද?


9 වසරෙ සෞඛ්‍ය පොත අතට හම්බෙනකම් ඉස්සර අපි පොඩි උන්ගෙ හිතේ අමුතුම හැඟීමක් තිබුණෙ.අපේ ස්කූල් වෑන් එකේ ගිය අයියලා තමා ඔය හැඟීම අපේ හිතට දැම්මෙ නොයෙක් නොයෙක් දේවල් වලින්.ඒ කට්ටියගෙන් ලැබිච්චි විස්තරේට අනුව පොත හම්බුණ ගමන් මුලින්ම පෙරලල බැලුවෙ ප්‍රජනන පද්ධතිය ගැන තියන පාඩම.ඒකෙ තියන රූප අපිට ඒ කාලෙ මැජික් වගේ(කොහෙන් දැකපුවද දෙයියනේ ඉතින්).ඒ ගැන අපේ හිත් ඒ තරමට උනන්දු වුණෙ ඇයි කියලා මට ඒ කාලෙ තේරුණෙ නැහැ.නමුත් මිනිහා කියන්නෙ පුදුම කුතුහලයක් තියන සතෙක් නෙ.ජීවිතේට අහල,දැකල නැති දෙයක් මුල්ම සැරේට අහන්න,දකින්න මිනිහට හරිම උනන්දුවක් තියනව.ඒක සහජයෙන්ම ආපු පුරුද්දක් නෙ.ඒ හින්දා අපි ගැන වැරදියට හිතන්න එපා ඉතින් ඕං.....;).කොහොමින් කොහොමහරි ඉතින් අපිට ලිංගික අධ්‍යාපනේ ආරම්භයක් උණේ ඔතනින් තමා ඒ කාලෙනම්(දැන් කොහොමද දන්නෙ නෑ).ඔය පාඩම අපිට ඉගැන්නුවද කියලා හරි මතකයක් නැහැ මට.හැබැයි ඉගැන්නුවනම් අමතක වෙන්න විදියකුත් නැහැ නේ.....;).හැබැයි ඉතින් ඔය ගැන ඉගැන්නිල්ලත් 9 වසරෙ සෞඛ්‍ය පොත ආපහු බාරදෙනවත් එක්කම ඉවරවුණා.

ශ්‍රී ලංකාව කියන්නෙ ඇත්තටම ලිංගික අධ්‍යාපනය අතින් ගොඩක්ම පිටිපස්සෙන් ඉන්න රටක්(දකුණු ආසියාවෙම තත්වෙ ඕක තමා).විකියෙත් ඒ ගැන කියල තියෙන්නෙ මෙහෙම "In China and Sri Lanka, sex education traditionally consists of reading the reproduction section of biology textbooks".ඒකට හේතුව විදියට මටනම් හිතාගන්න පුලුවන් එකම කාරණාව අපේ සංස්කෘතිය විතරයි.කොටින්ම කියනවනම් ලැජ්ජ බය කියන සංකල්පෙත් එක්ක අනවශ්‍ය දේවල් වගේම අත්‍යවශ්‍ය දේවලුත් අපේ ජීවිත වලින් ඈත් වෙලා.ඉස්සර අපි අහනවා "අම්මේ,තාත්තේ අපි කොහොමද මේ ලෝකෙට ආවෙ" කියලා.එතකොට අම්මා හරි තාත්තා හරි අපිට කියනව "පුතේ ඔයා දෙයියො ගෙනත් දුන්නෙ" කියලා.ඒක ඇත්තටම පොඩි පන්තියක ඉගෙනගත්ත අපිට සෑහීමකට පත්වෙන්න පුලුවන් උත්තරයක් වුණා.නමුත් තරුණ කාලෙ ඉන්න ළමයෙක්ට එහෙම සුරංගනා කතා කොහෙත්ම ගැලපෙන්නෙ නැහැ.එත් තවමත් ළමයෙක් ඔය ප්‍රශ්නෙ තමුන්ගෙ දෙමවුපියන්ගෙන්ඇහුවොත් අපේ අම්මා තාත්තාට පුලුවන්ද ඕකට හරිහමන් උත්තරයක් දෙන්න?.තරුණ වයසෙ ළමයෙක් ගණීතය,විද්‍යාව වගේම අනිවාර්යෙන් ඉගෙනගන්න ඕනෙ විෂයයක් වෙච්චි ලිංගික අධ්‍යාපනේ අසභ්‍ය කුණුහරුප විදියටයි එදා වගේම අදත් සැලකෙන්නෙ.ලිංගික කරුණු ගැන ඉගෙනගන්න උනන්දුවක් තියන අය දිහාත් ඒ වගේම පහත් විදියට තමා බලන්නෙ අද වුණත්.ඉතින් කන අතගාගන්න කැමති කවුරුහරි ඔය ප්‍රශ්නෙ පොඩ්ඩක් වැඩිහිටියෙක්ගෙන් අහල බලන්නකො.හි හි.......

හරිහමන් ලිංගික අධ්‍යාපනයක් නැති කමේ ප්‍රතිවිපාක අපිට අද හැමතැනින්ම අහන්න ලැබෙනවා.ඒඩ්ස් ලෙඩ්ඩු වැඩිම ගානක් ඉන්නෙ අපේ අසල්වැසි ඉන්දියාවෙ.පත්තරයක් අතට ගත්තොත් දූෂණ වලින් පිරිලා.අයියා නංගිව දූෂණය කරලා,තාත්තා දුවව දූෂණයකරලා.කොටින්ම 60 පැනපු ආච්චිලව පවා දූෂණය කරල මරල දාපු ආරංචි අපිට අහන්න ලැබුණා.තාම කිරිබෝතලෙ අතෑරපු නැති පොඩි උන් Blue Films බලන්න පුරුදුවෙලා.තවත් කියනවනම් දේවල් ඕනතරම්.ලිංගිකත්වය ගැන අවබෝධයක්නැති තරුණ පරපුර ඒ ගැන අවබෝධය ගන්න පාවිච්චි කරන මූලිකම දේ තමා මේ Blue Films.ඒවා බැලුවමලිංගිකත්වය ගැන අමුතුම අදහස් වලින් ඔලුව පිරෙනවා.එහෙම විකෘති වෙච්චි ඔලුවක් තියන මිනිස්සු දිගින් දිගටම සමාජෙට එන හින්දාතමයි අපිට ඔය දූෂණ වල කෙලවරක් දකින්න නොලැබෙන්නෙ,ග්‍රීස් යක්කු රටපුරා සැරිසරන්නෙ.අද ගැහැණු කෙනෙක්ට බස් එකක හිටගෙන නෙවේ,වාඩිවෙලාවත් යන්න පුලුවන්ද?.ඒ තරමට විකෘති මොළ තියන කාමාතුරයින්ගෙන් සමාජය පිරිලා.තමුන්ගෙ ජාතක දරුවව, එහෙමත් නැත්තම් අම්මටත් වඩා වයස ගැහැණුන්ව දූෂණය කරන්න තරම් පහත් මානසිකත්වයක් මනුස්සයෙක්ට ඇතිවෙනව කිවුවමත් අපිට පුදුමයි.නමුත් ඇත්ත ඒකයි.

අනික් කාරණව තමා ගොඩක් දෙනෙක් හිතන් ඉන්නෙ ලිංගික අධ්‍යාපනේ ප්‍රජනන පද්ධතියට සීමා වෙච්ච එකක් කියලා.ඒක සම්පූර්ණ වැරදි අදහසක්.ප්‍රජනන පද්ධතිය වගේම ලිංගිකව හැසිරීම,ප්‍රජනන සෞඛ්‍ය,ප්‍රජනන අයිතිවාසිකම් සහ වගකීම්,උපත් පාලනය වගේම මිනිස් ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධ අනික් සියලු දේත් ලිංගික අධ්‍යාපනයට අයිති වෙනවා.නමුත් සමහර අය ලිංගිකත්වය ගැන අත්දැකීමක් මුල්ම වතාවට ලබාගන්නෙ විවාහයෙන් පස්සෙ.නිසියාකාරව ලිංගිකත්වය ගැන නොදැනීම හින්දා ඒ වගේ වෙලාවක දෙන්නනාම අපහසුතාවයකට පත්වෙනවා.කොටින්ම කියනවානම් විෂයය නොදැන විභාගෙට ගියා වගේ තත්වයක් තමයි ඇතිවෙන්නෙ.ඕකට හරියන්න තවත් කට්ටියක් ඉන්නවනෙ ඉතින් අර දකින දකින මල් ඉඹින.හරි අවබෝධයක්වත් ආරක්ෂාවක්වත් නැතුව ලිංගිකව හැසිරීම හින්දා ඒඩ්ස් වගේ ලිංගාශ්‍රිත රෝග ඉක්මනටම පැතිරෙනවා.ලංකාවෙන් දැනට ඒඩ්ස් රෝගීන් 313 ක් හොයාගෙන තියනවා ඒ වගේම 1350 කට ආසන්න ප්‍රමාණෙකට ඒඩ්ස් වෛරස් එක ශරීරගත වෙලා තියනවා.හරි ආරක්ෂාවක් නැති කමෙන් ලෙඩ රෝග හැදෙන්න පුලුවන් වගේම අනවශ්‍ය ගැබ් ගැනීම් ඇතිවෙන්නත් පුලුවන්.ලංකාවෙ දවසකට නීති විරෝධී ගබ්සා කිරීම් විතරක් 700 ක් වෙනවා කියලා සමාජසේවා ඇමතිතුමා කියලා තියනවා.නීතියට අනුව ඒක සිද්ධවුණත් මිනිස්සුන්ගෙ නොසැලකිලිමත්කමට තාමත් නොඉපදුනු ජීවිතයක් වන්දි ගෙවන එක අසාධාරණයක්.

ඔය ලංකාවෙ දැනට තියන තත්වය.මේක වෙනස් කරන්නනම් "ලිංගික අධ්‍යාපනය" පාසල් තුලින් ක්‍රමවත් විදියකට තරුණ පරපුරට ලබා දෙන්නම වෙනවා.මොකද ළමා මනස ඉක්මනටම වෙනස්කරන්න පුලුවන්.ඉතින් ලිංගිකත්වය ගැන වැරදි අදහසක් එක්ක වැඩෙන ළමයෙක් පස්සෙ සමාජෙට ලොකු කරදරකාරී පුද්ගලයෙක් වගේම සමාජයෙන් කොන්වෙච්ච පුද්ගලයෙක් වෙන්නත් පුලුවන්.පාසල ඇරුණු කොට ලිංගිකත්වය ගැන අවබෝධය වැඩිකරගන්න හොඳම තැන තමයි ගෙදර.නමුත් දැනට ගෙදර තත්වෙ මම කලිනුත් කිවුවා වගේ හරිම කණගාටුදායකයි.ළමයා සහ දෙමවුපියන් අතර ලිංගිකත්වය ගැන කතාකරන්න තියන අපහසුතාවය තමා ළමා අපචාර වැඩිවෙන්න ප්‍රධානතම හේතුව.ඒ හැරුණම නොයෙක් ලිංගික ප්‍රශ්න නිසා මානසිකත්වය පවා ඇදවැටිච්ච ළමයි ඕනතරම් හම්බවෙනවා අපිට.මේ වගේ ප්‍රශ්න මග අරින්නත්,ළමයාට හොඳ ලිංගික අවබෝධයක් ලබාදෙන්නත්,ළමයාට දෙමාපියන් එක්ක ලිංගිකත්වය ගැන සැහැල්ලුවෙන් කතාකරන්න පුලුවන් තැනට සමාජය ආ යුතුමයි.හණමිටි අදහස් අත ඇරලා පාසල වගේම ගෙදරත් විවෘත තැනක් බවට පත්වුණාම අපිට දූෂණ,ඒඩ්ස්,ග්‍රීස් යක්කු නැති සදාචාරවත් ශ්‍රී ලංකාවක් බලාගන්න පුලුවන් වෙයි...........:)

ආශ්‍රිත - දිවයින Online Edition,Wikipedia

ප.ලි - මේ පාර ලියපු මාතෘකාව සමහරුන් පිලිකුලෙන් නොකියවා ඉඳීවි.ඒත් දැනට නොසලකා හැරල තියන මේ වගේ ශිෂ්ට සම්පන්න සමාජෙක කතා කළ යුතුම දේවල් කවුරු කවදා හරි කතාකළ යුතුමයි කියල හිතුණ නිසයි ලිවුවේ.මල් වගේම ගල්,මුල් ඔක්කොම සතුටින් බාරගන්නවා.ඔයාලට ජය!!!.
බාරගන්නවා.ඔයාලට ජය!!!.