Thursday, November 10, 2011

මිතුරන් අතරේ පමණයි....

යාලුවො කියන්නෙ අපිට හැමතැනම හම්බවෙන,අපේ දුක සැප හොයලා බලන,මොන දේ වුණත් අපිව දාලා නොයන,අපේ වැරැද්දක් වුණත් හොදක් වුණත් මූණටම කියන්න පුලුවන්,හරි අමුතුම කට්ටියක්.මෙයාලා අපි හැමෝගෙම වගේ ජීවිතවල දකින්නට පුලුවන්.මිනිහා කියන්නෙ සාමූහිකව ජීවත්වෙන්න හැඩගැහුණු සතෙක්නෙ.ඉතින් යාලුවො කවුරුත් නැතිව තනියෙන්ම මේ සමාජයේ ඉන්න කෙනෙක්ව අපිට හම්බවෙන්නෙ හරිම කලාතුරකින්.කැම්පස් එකේදිනම් තනියම ඉන්නවාට කියන්නෙ "අල" වෙනවා කියලා.ඔයාලා දන්න එහෙම ඉන්න කට්ටියත් ඇති.මතක් කරලා බලන්නකො......

මම සාමාන්‍යයෙන් බණ පොත අතේ අරන් ඉන්න ජාතියෙ කෙනෙක් නෙවෙයි.නමුත් බුද්ධ ධර්මය ගැන තරමක දැනීමක් තියනවා.යාලුවො ගැන කියපු ගමන් මට මතක් වුණා බුදු හාමුදුරුවො යාලුවො ගැන දේශනා කරපු දෙයක්.මේක සිඟාලෝවාද සූත්රයෙ තමයි තියෙන්නෙ.ඒකෙදි බුදුන් වහන්සෙ ඇසුරු කළයුතු මිතුරන් 4කුත්,ඇසුරු නොකළ යුතු මිතුරන් 4කුත් ගැන දේශනා කළා.ඇසුරු කරන්න කියලා වදාළෙ උපකාරක,සමාන සුඛදුක්ඛ,අත්ථක්කායී සහ අනුකම්පක කියන මිතුරන් 4 දෙනායි.උපකාරක කියන්නෙ වැරදි වැඩවලට යොමුවෙලා ඉන්න කෙනෙක්ව ඒවායින් ගලවගන්න,එහෙම යොමුවෙච්ච යාලුවගෙ ධනය,වස්තුව ආරක්ෂා කරන,යාලුවා බය වෙච්ච වෙලාවක පැනලා යන්නෙ නැතිව පිහිට වෙන,උදවුවක් ඕනෙ වෙච්ච වෙලාවක උදවු කරන මිතුරාට.සමාන සුඛදුක්ඛ මිතුරා අපිට කරදරයක් වුණත් යහපතක් වුණත් වෙනසක් නැතිව අපි ලඟින්ම ඉන්නවා,එයාගෙ රහස් නොසඟවා අපිට කියනවා,අපි එයාට කියපු රහස් ඒ විදියටම ආරක්ෂා කරනවා.පස්පව්,දස අකුසල් වලින් අපිව වලක්වගන්නෙත්,කලයුතු හොඳ වැඩවල අපිව යොදවන්නෙත්,ආර්ථික,අධ්‍යාත්මික, සාමාජික,ආගමික වගේ දේවල් වලින් අපි දන්නෙ නැති දේවල් කියලා දෙන්නෙත් අත්ථක්කායි මිතුරා.අනුකම්පක තමයි අපේ ආර්ථික හෝ ආධ්‍යාත්මික පිරිහීමක් ඇතිවෙනවට අකමැති,අපේ දියුණුව දැකලා සතුටුවෙන,අපිට දොස කියන අයට ඇත්ත කියලා එයාලාගේ දුර්මත අයින් කරන,අපේ හොඳ කියන අයව පැසසුමට ලක් කරන මිත්රයා.

ඒ වගේම තමයි ඇසුරු නොකළ යුතු මිතුරන් විදියට අනුප්පියභාණී,අඤ්ඤදත්තුහර,අපායසහාය සහ වචීපරම කියන හතර දෙනාව වදාළා.අපි කරන හොඳ නරක දෙකම එක විදියට අනුමත කරන්නෙත්,අපි ඉන්න තැන අපේ හොඳ කියලා නැති තැන දොස් කියන්නෙත් අනුප්පියභාණී පාප මිතුරා.අඤ්ඤදත්තුහර තමයි අපේ සන්තකේ තියන මොනවහරි දෙයක් කඩාවඩා ගෙන යන්න හදන,හැමතිස්සෙම ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් අපිව ඇසුරු කරන පාප මිතුරා.අපායසහාය අපිව නොමගට යොමු කරවනවා,කරන හොඳ දේවල් වලින් වළකනවා,සුරාවට,සූදුවට අපිව ඇබ්බැහි කරවනවා.අපිට හිස් දේවල් වලින් විතරක් සංග්‍රහ කරන්නෙ,වචනයෙන් මිසක් ක්‍රියාවෙන් කොයිම වෙලාවකවත් අපිට සහය නොවෙන,අපිට ඉස්සරහට යන්න තියන මාර්ග ඔක්කොම වහලා දාන පාප මිත්රයා තමයි වචීපරම.

[දැන් ඉතින් ඔයාලටම හොයාගන්න පුළුවන් ඔයාලා යාලුවො කියලා මෙච්චරකල් ආශ්‍රය කරලා තියෙන්නෙ ඇත්තටම කළණ මිතුරන්වම ද කියලා ඔන්න....:)]

දැන් සමහරු හිතන් ඉන්නවා ඉපදිච්ච දවසෙ ඉඳන් දන්න යාලුවා තමයි මගේ කළණ මිතුරා,පස්සෙ අඳුනගන්න අය එහෙම නෙවෙයි කියලා.ඒත් සමහර වෙලාවට ඉපදුන දවසෙ ඉඳන් අඳුනන යාලුවා වෙන්න පුලුවන් ඔයාලට වින කරන්න එන හතුරා,පස්සෙ දවසක දැන අඳුන ගත්ත යාලුවා තමන් වෙනුවෙන් පෝරකෙට යන්න උණත් ලෑස්ති කෙනෙක් වෙන්න පුලුවන්.කෙනෙක්ව තමන් කොච්චර කාලයක් දැනගෙන හිටියද කියන එක යාලුකමේ හැටි සලකද්දි වැදගත් වෙන්නෙ නැහැ.මට පෞද්ගලිකව පහුකාලීනව ගොඩක් හොඳ යාලුවො හම්බවෙලා තියනවා.උදාහරණයක් විදියට බ්ලොග් කෙරුවාවට අත ගැහුවයින් පස්සෙ මම බොක්කෙන්ම ආශ්‍රය කරන යාලුවො කීප දෙනෙක්ම හම්බවුණා.හිතූ,මදාරා,මධූ ඒ අතරින් හොඳම යාලුවො.අත්දැකීමන් මම දන්නවා මේ අය ඔක්කොම අර ඇසුරු කළයුතු මිත්රයො ගොඩේ ඉන්න කට්ටිය කියලා.ඉතින් ඒ හින්දා මේ අයගෙන් ගොඩක් අය තවමත් ඇහැටවත් දැකලා නැතිවුණත් මට හිතේ බයක් නැතුව එයාලව ආශ්‍රය කරන්න පුලුවන්.

සමහරුන්ට යාලුවන්ව ආශ්‍රය කරන්න බය හිතුනද දන්නෙත් නැහැ දැන්.හි හි.තමුන් ආශ්‍රය කරන යාලුවන්ගෙ ගති පැවතුම් මොන වගේද,තමන් එක්ක කතාබහ කරන්නෙ මොන වගේ දේවල් ගැනද, වගේ ඒ ඒ යාලුවන්ගෙ ඇතුලාන්තය ගැන අවබෝධයක් තියනවනම් යාලුවො ආශ්‍රය කරන්න කිසි දේකට බයවෙන්න ඕනෙ නැහැ.අපි යාලුවන්ගෙන් ඈත්වෙන්න ඈත්වෙන්න,එයාලත් අපෙන් ඈත් වෙනවා.ඒ හින්දා හොඳ යාලුවන්ව හැමතිස්සෙම තමන් ලඟින්ම තියාගන්න.යාලුවෙක් තමන්ගෙ වරදක් තමන්ටම කියනවනම් ඒ ඔයාගෙ ඇත්ත යාලුවෙක්.එහෙම අය එක්ක තරහ වෙන්න එපා.එයාල තමයි අපිව හරි පාරෙ අරන් යන්නෙ.ඒ වගේම යාලුවන්ට සමහර වෙලාවට එක එක ගැටලු,ප්‍රශ්න තියෙන්න පුලුවන්.එහෙම වෙලාවට අපි එයාලට ශක්තියක් වෙන්න ඕනෙ.එයාලා ගාවින් දුකේදි සැපේදි එකට ඉන්න ඕනෙ.ඔයාලා අනිත් අයට හොඳ යාලුවෙක් නොවී අනිත් අයගෙන් හොඳ යාලුකමක් බලාපොරොත්තු වෙනවනම් ඒක විහිලුවක්.අනිත් අයව හදන්න,මනින්න කලින් තමන් හරියට ඒ විදියට හැදිලා ඉන්න ඕනෙ.යාලුවො අතරත් එක එක ප්‍රශ්න ඇතිවෙනවා.එහෙම වෙලාවට හැමදෙනාම එකතුවෙලා ඒ ප්‍රශ්න විසඳගන්න වැඩ කරන්න ඕනෙ.මොකද හොඳ යාලුවෙක් අපිට ජීවිතේ හම්බවෙන්නෙ එක වතාවක් විතරක් වෙන්න පුලුවන්.......

අන්තිමටම මේ ගාථාවත් කියලාම පෝස්ට් එක ඉවරකරන්නම්....

"අසේවනාච බාලානං - පණ්ඩිතානංච සේවනා
පූජාව පූජ නීයානං - ඒතං මංගල මුත්තමං "

"අසත්පුරුෂ බාලයන් ඇසුරු නොකීරිමද,සත් පුරුෂ පඬිවරුන් ඇසුරු කිරීමද, පිදිය යුත්තන් පිදීමද, ( යන මේ කරුනු තුන ) උතුම් මංගලයන්ය."