Monday, August 15, 2011

දෙමාපිය නමට නිගා දෙන මිනිස්සු

ඔන්න ඉතින් සෑහෙන කාලෙකට පස්සෙ ආයෙත් පෝස්ට් එකක් දැම්මේ.ඔයාලට හිතෙනවත් ඇති මම මේ අර මොකක්ද එකා මොකක්ද එක අස්සෙන් මොකක්ද එකක් දැක්කා වගේය කියලා පෝස්ට් දාන්නේ.නමුත් තියන වෙලාව අනුව තමා පෝස්ට් එකක් ලියන්න වෙලාව හොයාගන්නේ.මේ දවස්වල සෙමෙස්ටර් විභාගෙ හින්දා ස්ලයිඩ්ස්,නෝට්ස් අතර දුවන හිත පොඩ්ඩක් සැහැල්ලු උණේ අද.මොකද තවත් සතියක් යනකම් ඊලඟ පේපර් එක නැහැ.....

හරි ඉතින්,කතාවෙන් කතාවෙන් කියන්න ආපු දේත් අතපසු වෙනවා.අද මම කියන්න යන්නේ වෙනදා කියනවාට වඩා ටිකක් විතර වෙනස් දෙයක් ගැන.අපේ චම්මා සහෝදරයාගෙ ඉල්ලීමක් තිබුණා රියැලිටි වැඩසටහන් ගැන ලියන්න කියලා. අමතක උණා නෙවෙයි සහෝ.ඒ මාතෘකාවට මම ඊලඟ පෝස්ට් එකෙන් යොමුවෙන්නම්...:)

ඔන්න ඉතින් මම මගේ යාලුවෙක් එක්ක බස් එකේ ගෙදර එනගමන් තමයි මේ සිද්ධිය උණේ.මේ දවස්වල අපි අතර ජනප්‍රිය මාතෘකාව වෙච්චි සෙමෙස්ටර් විභාගය ගැන කතා කර කර තමයි හිටියේ අපි දෙන්නා.ඔන්න ඉතින් කොහොමින් කොහොමහරි බස් එක මහරගමටත් ඇවිත්.අපි දෙන්නා වාඩිවෙලා හිටියේ පිටිපස්සෙම ෂීට් එකේ.මම හිටපු තැනට එහාපැත්තෙන් ෂීට් දෙකක් හිස්වෙලා තිබුණා.ඔතනදී බස් එකට ගොඩවෙච්චි අම්මා කෙනෙක්,දුවෙක් සහ ඒ දෙන්නා සමග ආපු පිරිමි කෙනෙක් මගේ එහාපැත්තෙන් වාඩිවුණා.අම්මා කොනේම,දුව මැද සහ අනෙක් කෙනා මගේ එහාපැත්තේ ඉන්න විදියට තමා වාඩිවුණේ.ළමයාගේ අම්මා සහ අර පිරිමි කෙනා අවු 40-45 වගේ පෙනුනේ.ළමයාට නම් අවු 8-10 පෙනුම තිබුණා.ඉතින් ටිකක් වෙලා යනකොට අර මනුස්සයා ඒ ළමයාව මම හිටපු පැත්තට දාලා අර ගෑනු කෙනා හිටපු තැනට ගියා.ඉස්කෝලෙ යන ළමයෙක් තමන්ගේ අම්මා තාත්තා එක්ක බස් එකේ යන එක එච්චර අමුතු දෙයක් නොවෙන හින්දා මට ඒ ගැන වැඩි උනන්දුවක් තිබුණෙ නෑ....

ඔහොම ටික වෙලාවක් ගියා.මම නිකන් පාරේ අනික් පැත්ත බලන්න ඔලුව අර කලින් විස්තර කරපු කට්ටිය හිටපු දිහාට හැරෙවුවා.එතකොට දැක්ක දෙයින් ඇත්තටම මම ලොකු පුදුමයකට පත්වුණා.අර ගෑනු කෙනා ඒ පිරිමි මනුස්සයාව සිපගනිමින් හිටියේ.සින්හලෙන්ම කියනවානම් lip-kiss කරමින් හිටියේ.ළමයා නිදි බව හිටපු විදියට පෙනුනා.ඉතින් ඕක දැකපු ගමන් මම අහක බලාගත්තා.හොඳම වැඩේ උණේ එවෙලෙම අර ළමයා කෑගහන්න ගත්තා "මම දැක්කා මොකක්ද කලේ කියලා" කිය කිය.ඔය අතරෙ මට යාලුවටත් සිද්දිය කියාගන්න පුලුවන්කමක් ලැබුනා.යාලුවගෙ අදහස උණේ ඒ අර ගෑනු කෙනාගෙ හොර මනුස්සයාය කියලා.ඒ කතාවේ සමහරවිට ඇත්තක් තියෙන්නත් ඇති.ළමයා හැසිරුනු විදියෙන් ඒ පිරිමි පුද්ගලයා හොඳට අඳුනන
බවනම් තේරුණා.ඔයින් මෙයින් බහින තැන ආපු නිසා මම බසයෙන් බැහැගත්තා.

මීට කලිනුත් නාකි කපල් ඕනෑතරම් දැකලා තිබුණත් ළමයෙක් එක්කම එහෙම හැසිරෙන අවස්ථාවක් මම දැකලා තිබුනෙ නෑ.තමුන්ගෙ දරුවා ඉස්සරහ එහෙම හැසිරෙන්න තරම් මේ අම්මට තිබුණු මානසිකත්වය ගැන මට හිතාගන්න අමාරුයි.අනික එතන වුණු දෙයින් හොඳටම පැහැදිලියි ඒ ළමයා වුනු දේ දැක්කාය කියලා.තමුන්ගෙ අම්මා බස් එකක එහෙම හැසිරෙනවා දැක්කම ඒ ළමයාට මොනවා හිතෙන්න ඇද්ද??..කරමින් හිටි දෙය ගැන තවමත් අවබෝධයක් නැති වුණත් ළමයාට ඒ අවබෝධය ලැබුණු කලක
අම්මා ගැන ඇතිකරගන්නා ආකල්පය මොකක්ද??..දරුවන්ට පොඩි කාලෙදි ලැබෙන අත්දැකීම්,ආකල්ප වලින් සමහරවිට සම්පූර්ණයෙන් වෙනස් කෙනෙක් සමාජයට බිහිවෙන්න පුලුවන්.අර ළමයා ඔයවගේ පරිසරයක ලොකුමහත් වෙනකොට මොන මොන දේවල් අහන්න,දකින්න ලැබේවිද කියලා අපි දන්නෙ නැහැ.ඉතින් අම්මා ගිය අඩිපාරෙම දුවත් ගමන්කරන්න තියන ඉඩනම් හුඟාක් වැඩියි.අපි හිතමු අර හිටියේ දරුවාගේ තාත්තාය කියලා.ඒත් එතන වෙච්ච දේ සධාරණීකරණය කරන්න බැහැ.මොකද ඒ ළමයාගෙ දෙමවුපියෝ නම් ඔය විදියට නමුන්ගෙ දරුවා ඉදිරියේ හැසිරෙන්න කලින් දෙතුන් වතාවක් නෙවෙයි,සියදහස් වතාවක් හිතන්නට ඕනෙ.

දරුවෙක්ගේ නරක හැසිරීමක් දකින්නට ලැබුණු ගමන් දෙමවුපියන් හිතන්නෙ නරක ආශ්‍රය නිසා එහෙම වෙන්න ඇති කියලා.නමුත් ළමයා සමාජයට යන්න කලින් සම්බන්ධවෙලා ඉන්නේ ගෙදර එක්ක,ගෙදර තියන සමාජීය වටපිටාව එක්ක,ඉතින් අනුන්ට ඇඟිල්ල දික්කරන්න කලින් දෙමවුපියො තමුන්ගෙන්ම අහනවනම් හොදයි "අපි අපේ ළමයාට ආදර්ශයක් වෙන විදියට හැසිරෙනවාද?" කියල.මොකද දරුවා සමාජයෙ හැසිරෙන්නෙ ගෙදරින් ලැබෙන ආකල්ප අනුව.ඒ හින්දා දරුවගෙ එහෙම අමුතු හැසිරීම් තියනවානම් පොඩ්ඩක් හිතලා බලන්න අපේ දෙමවුපියො ගෙදර තත්වයෙ වරදක් හින්දා ළමයි මෙහෙම වෙනවාද කියන කාරණයත්..අවවාදයට වඩා ආදර්ශය උතුම්ය කියනවානෙ.අවවාද කරනවාට වඩා දරුවාට ආදර්ශයක් වෙන විදියට හැසිරෙනවානම් දරුවන් මුල ඉඳන්ම නොමග යන්නෙ නැහැ.

අපේ රත්තරන් අම්මල තාත්තලට අපහාසයක් කරන්න නෙවෙයි මම මේක ලිවුවේ.දරුවෙක්ගෙ වටිනාකම දන්න අම්මා,තාත්තා කෙනෙක් කවදාවත් තමුන්ගෙ වගකීම පැහැර හරින්නෙ නැහැ ඔයවිදියට.නමුත් ඉඳලා හිටලා ඔහොම මවු පිය පදවි බිම දාලා පාගලා කෙළ ගහන අයත් අපිට හමුවෙනවා.හිතට ආපු හැඟීම් එහෙමම කියාගන්න බැරිවුණත් මම කියන්න හදන දේ ගැන පොඩි අදහසක් හරි එන්න ඇති කියලා මම හිතනවා.දැන් මේක කියවන ඔයාත් කවද හරි මවු කෙනෙක්,පිය කෙනෙක් වේවි,දැනටමත් වෙලා ඉන්න අයත් කියවනව ඇති.කොහොම උණත් තමුන්ගෙ දරුවාට කවදාවත් නරක ආදර්ශයක් වෙන විදියටනම් හැසිරෙන්නෙ නැහැ කියන එක හිතට ගන්න.....